Thursday, 25 April 2024

කොළඹ සරසවි දියණීය විසින් හඳුන්වා දුන් පරිසර හිතකාමී ආහාර ඇසුරුම තහනම් කරන්නේ නැහැ- පරිසර අමාත්‍ය

Posted On Saturday, 18 September 2021 11:29

කොළඹ සරසවි දියණීය විසින් හඳුන්වා දුන් පරිසර හිතකාමී ආහාර ඇසුරුම තහනම් කරන්නේ නැහැ- පරිසර අමාත්‍ය


කොළඹ සරසවියේ ඉගෙනුම ලබන රත්නපුර පදිංචි තරුෂි විදුශිකා රාජපක්ෂ දියණිය විසින් හඳුන්වා දුන් පරිසර හිතකාමී ආහාර ඇසුරුම කිසිසේත්ම තහනම් නොකරන බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් තමන්ට දැනුම් දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ,(15) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
පරිසර අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහනම් කර තිබෙන්නේ එක්වරක් පමණක් භාවිතා කරන පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් පමණි. එම තහනම පසුගිය අගෝස්තු මස 01 දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා වන ගැසට් පත්‍රය 2017 සැප්තැම්බර් 01 දින සිටයි.

නමුත් තරුෂි විදුශිකා දැරිය විසින් හඳුන්වා දී ඇති ආහාර ඇසුරුම පොලිතීන්වලින් නිපදවා තිබුනත් එය එක්වරක් පමණක් භාවිතා කරන ලන්ච්ෂීට් ඝනයට අයත් වන්නේ නැහැ. ඇය හඳුන්වා දී තිබෙන්නේ මාස 06ක් පමණ එක දිගට භාවිතා කළ හැකි ආහාර ඇසුරුමක්. ඒක හරියට ගෙදරින් ගෙනියන බත්මුළක් වගේ. සෝද සෝදා නැවත නැවතත් පාවිච්චි කළ හැකියි.

එබැවින් පවත්නා රෙගුලාසිවලට අනුව මෙම නිෂ්පාදනය මධ්‍යම පරිසර අධිකාරිය විසින් තහනමට ලක් කර නැහැ. මෙම දැරිය විසින් හඳුන්වා දෙන ලද මෙම නව නිෂ්පාදනය අපි ජාතියක් වශයෙන් අගය කළ යුතුයි. තනිභාවිත පොලිතීන් ලන්ච්ෂීට් භාවිතය අවම කිරීම සඳහා මෙම නිෂ්පාදනය ඉතාමත් හොඳ විකල්පයක්. ඒ නිසා මම ඒ දැරියගෙන් ඉල්ලා සිටිනවා. තම නිෂ්පාදනය ඉතා හොඳින් සිදු කර ගෙන යන ලෙස. ඒ වගේම ඉදිරියේ දී හැකි නම් පොලිතීන් යොදා නොගනිමින් පරිසර හිතකාමී ඉක්මනින් දිරාපත් වන නව නිෂ්පාදනයක් රටට හඳුන්වා දෙන ලෙසත් මම ඇයට ආරාධනා කරනවා යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.