Friday, 19 April 2024

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

Posted On Thursday, 30 September 2021 09:47

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

 

අතිගරු ජනාධිපතිතුමන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ 76 වන සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් නිකුත් කරන විශේෂ ප්‍රවෘත්ති නිවේදනය.

අතිගරු ජනාධිපතිතුමන් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ 76වන මහා මණ්ඩලය අමතමින් අප රටේ පාරිසරික සුරක්ෂිතතාව සම්බන්ධව රජය විසින් ගෙන ඇති පියවර සම්බන්ධව කරුණු රැසක් ඉදිරිපත් කළේය.

මෑත කාලය තුළ අප රටේ පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳව විශේෂයෙන් අවධානය යොමුකරමින් ජනාධීපතිතුමන් ගත් පියවර රටේ ඉදිරි අනාගතය තුළ මෙන්ම එතුමන්ම සඳහන් කළ පරිදි පෘථිවියේ සෞඛ්‍යසම්පන්නභාවය පිළිබඳව ගත් විශිෂ්ට පියවරයන් වේ. පෘථිවියේ සෞඛ්‍ය සම්පන්නභාවය යන්න ඉතා කාලෝචිත යෙදුමක් බව මගේ අදහසයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා පෘථිවිය මේ වනවිට ගිලන්භාවයට පත්වෙමින් පවතින බව නොරහසකි. මිනිසා විසින්ම විනාශයන් සිදුකරමින් පෘථිවිය ගිලන්භාවයට පත්කරමින් සිටින නිසා එහි ප්‍රතිවිපාක මිනිසා ඇතුළු සමස්ත සත්ව හා ශාඛ ප්‍රජාවටම විඳින්නට සිදුව තිබේ.
වර්තමානයේ ලොවම ආර්ථික , සමාජයීය මෙන්ම මානව සබඳතාවලින් අඩපණ කළ කොවිඩ් 19 වැනි ගෝලීය වසංගත තත්ත්වයන් එහි ප්‍රතිපලයි. අතිගරු ජනාධිපතිතුමන් මහාමණ්ඩල සැසිවාරය මෙන්ම බලශක්ති රැස්වීම ද අමතමින් කළ ප්‍රකාශවල අප රටේ පාරිසරික සුරක්ෂිතතාව තුළින් ගෝලීය වැඩ පිළිවෙළට හිමිවන ප්‍රතිලාභ පැහැදිළීවම සඳහන් කළේය.

ශ්‍රී ලංකාව හරිතාගාර වායු විමෝචනය අවම රටකි. අපේ රට එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තියේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් පරිසර සංරක්ෂණය උදෙසා ගත් පියවර රැසකි.

2030 වනවිට ශ්‍රී ලංකාවේ සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය මගින් ලබා දීම, වායුගෝලයට වැඩිම කාබන් ප්‍රමාණයක් එක් කිරීමට හේතුවන ගල්අඟුරු බලාගාර නැවත ඉදි නොකිරීමට තීරණය කිරීම, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලිබල සැපයුම සියයට 100 ඉළක්කයට ලඟාකරවීම, සූර්ය බල උත්පාදක ව්‍යාපෘති 7000ක් අලුතින් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය මෑතක විවෘත කිරීම, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීම, හරිතාගාර වායු විමෝචනය අවම කිරීම, පිරිපහදු ඉන්ධන භාවිතය ප්‍රචලිත කිරීම, මෙන්ම වාහන ආනයනයේ දී විදුලිබලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ද ඉන් සමහරකි.

එමෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ඉවහල්වන සුරකිමු ගංගා ව්‍යාපෘතිය මගින් අප රටේ ගංගා 103ම සංරක්ෂණය කිරීම, 2025 වන විට අප රටේ වනගහණය සියයට 30 දක්වා ඉහළ නැංවීම ද එතුමන්ගේ ප්‍රතිපත්තීන්ට අනුව ක්‍රියාත්මකය.

2030 වනවිට නයිට්‍රජන් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ද අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම නාගරික අපජලය වගුරුබිම්වලට මෙන්ම තෙත්බිම්වලට ගලා යාම නැවැත්වීම හා කඩොලාන පද්ධති සංරක්ෂණය ද එතුමන් විසින් ගන්නා ලද පියවරකි. එමෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය කළමනාකරණය පිළීබඳව කොළඹ ප්‍රඥප්තිය සම්මත කර ගැනීම මගින් පරිසර දූෂණය අවම කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාවේ දායකත්වය පළ කර තිබේ.

අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කෙරෙන එක්වරක් පමණක් පමණක් භාවිතා කරන ඒ ආශ්‍රිත නිෂ්පාදන තහනම් කිරීමේ වැඩ පිළිවෙළ ආරම්භ කර ඇත. අප රටේ පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන භාවිතය කළමනාකරණය සඳහා ගෙනයන වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට විශාල ප්‍රගතියක් අත් කරගෙන තිබේ. ඒ අනුව මේ වනවිට සැෂේ පැකට් හා පොලිතීන්වලින් නිෂ්පාදිත භාණ්ඩ කිහිපයක නිෂ්පාදනය අවම වී ඇත.

එමෙන්ම පරිසර අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති වැඩසටහන් රැසකි. ඒ අතර රටේ රුක්ගහණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු වැඩ සටහන, එක්වරක් පමණක් භාවිතා කරන පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීම මෙන්ම ඒවා කළමනාකරණය, පරිසර හිතකාමී නිෂ්පාදන දිරිගැන්වීම, සංවේදී පරිසර කළාප හඳුනාගැනීම, ජාතික සංවර්ධන ව්‍යාපෘතින් සඳහා අවශ්‍ය ඛනිජ සම්පත් පරිසර හිතකාමී ලෙස යොදා ගැනීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කිරීම ද ඒ අතර වේ.

එමෙන්ම ලෝකයේ රටක් වශයෙන් ගත් පැසසුම් කටයුතු තීරණය නම් වගාව සඳහා මෙතෙක් යොදාගත් රසායනික පොහොර හා කෘමිනාශක හා වල්නාශක වෙනුවට කාබනික ගොවිතැන හඳුන්වා දීමේ තීරණය සැළකිය හැකිය.

එමනිසා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් එක්සත් ජාතින්ගේ සංවිධානය අමතමින් පවත්වන ලද දේශනයේ දී අප රටේ පාරිසරික සංරක්ෂණය උදෙසා එතුමන් ඉදිරිපත් කළ කරුණු අතිශය ඇගයීමට ලක් විය යුතුය.

මාධ්‍ය ඒකකය
පරිසර අමාත්‍යාංශය