Friday, 29 March 2024

අධිවේගී මාර්ගයේ විද්‍යුත් මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට පියවර

Posted On Monday, 18 October 2021 12:19

අධිවේගී මාර්ගයේ විද්‍යුත් මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය ප්‍රචලිත කිරීමට පියවර


අධිවේගී මාර්ගයේ කාර්යාලීය වේලාවන්වල දී පිටවීමේ දොරටු අසල පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීමට අලුතින් විද්‍යුත් මුදල් එකතු කිරීමේ (Electronic Toll Collection ) කුටි ඉදිකිරීමටත් අධිවේගී මාර්ග භාවිතා කරන අය අතර මුදල් ගෙවීම සඳහා විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය (පෙරගෙවුම් කාඩ් පත) ETC ප්‍රචලිත කිරීමටත් පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසලදී ප්‍රවේශ පත්‍රය ලබා දී අතින් මුදල් ගෙවීමේ (Manual Toll Collection) ක්‍රමය මඟින් වාහන වලට පිටවීම ලබා දීම සඳහා මුදල් ගෙවීමේ කුටි වල සිටින අයකැමිවරයාට තත්පර 12-15 ත් අතර කාලයක් ගතවේ. නමුත් විද්‍යුත් මුදල් ගෙවීමේ ක්‍රමය භාවිතා කිරීමේ දී තත්පර 6 ක් වැනි සුළු කාලයක් ඇතුලත වාහනයකට අධිවේගී මාර්ගයෙන් පිටවීමේ හැකියාව ලැබෙන බැවින් අධිවේගී මාර්ග භාවිතා කරන්නන් හට මුදල් ගෙවීම සඳහා ETC පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය භාවිතා කරන ලෙසට අමාත්‍යවරයා ඉල්ලීමක් කරන ලදි. මෙම ETC පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය ප්‍රචලිත වීම තුලින් අධීවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල පවතින අධික රථවාහන තදබදය අවම කර ගැනීමට හැකි වන බව අමාත්‍යවරයා පවසයි.

දැනට කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ පමණක් ස්ථාපිත කර ඇති මෙම විද්‍යුත් මුදල් එකතු කිරීමේ (Electronic Toll Collection) කුටි ඉදිරියේ දී කෙරවලපිටිය අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සහ අනෙකුත් අධිවේගී මාර්ග වල ඇති අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලද ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන ලෙසට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දෙන ලදි.

තමන් අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේ දී මුදල් ගෙවීමේ කුටි වලින් කිහිපයක් වසා දමා ඇති බව තමන්ට නිරීක්ෂණය වූ බවත් එයට හේතුව කුමක් දැයි අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ගෙන් ප්‍රශ්න කරන ලදි. එයට හේතුව ලෙස දැනට අධිවේගී මාර්ග වල මුදල් එකතු කිරීමේ කුටි වල සේවය කිරීම සඳහා මුදල් අයකැමිවරුන්ගේ හිඟයක් පවතින බව අධිවේගී මාර්ග මෙහෙයුම් අධ්‍යක්ෂවරයා අමාත්‍යවරයා දැනුවත් කරන ලදි. අධිවේගී මාර්ග ව්‍යාපෘති වල මුදල් අයකැමිවරුන් ලෙස පත්වීම් ලබා කළමණාකරණ සහකාරවරුන් ලෙස සේවා අවශ්‍යතා මත ප්‍රාදේශීය කාර්යාල වල සේවයේ නියුතු අයවලුන්ව වහාම ක්‍රියාත්මක වන පිරිදි නැවත අධිවේගී මාර්ග මෙහෙයුම් කළමණාකරණ ඒකකය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත උපදෙස් ලබා දෙන ලදි.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ උපදෙස් ලබා දෙන ලද්දේ අධිවේගී මාර්ග මෙහෙයුම් කළමණාකරණ ඒකකයේ ප්‍රගතිය සහ එහි ඉදිරි වැඩපිළිවෙල පිලිබඳව පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමේ දීය.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන්, අධිවේගී මාර්ග මෙහෙයුම් කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.