Thursday, 02 December 2021

ශ්‍රී ලංකාවේ බෞදුනුවන්ට කුසිනාරා නගරයට කෙලින්ම ගුවනින්

Posted On Wednesday, 20 October 2021 03:23

37C6F3C5 9BC2 440D 9005 D6F26739CB73A55CFFAA F40B 4BD3 91E9 94BEEF6D255C0F4812DE 6DC2 4757 9067 BE544095DED3

කුෂිනාගර් උත්තර ප්‍රදේශ් හි අගනගරයයි. කුසාවතී වශයෙන් පැරණි ඉන්දියාවේ හැඳින්වුණ මෙම ස්ථානය ක්‍රිස්තුපුර්ව හයවැනි සියවසේ දී මහා ජනපදයක් සේ සඳහන් කොට ඇත. පුරා විද්‍යා කැනීම් වල දී කුෂිනාගර් සම්බන්ධ වැදගත් කරුණු රාශියක් ගවේශනය කරගෙන ඇත. බුදු රජානන් වහන්සේ පිරිනිවන් පා වදාල කසිනාරානුවර මෙතැන බව අනාවරණය කරගෙන ඇත. එරට පළමු පුරාවිද්‍යා ජනරාල්වරයා වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් එහි බෞද්ධ සිද්ධස්ථාන හා නටඔුන් රාශියක් සොයාගෙන කර තිබේ. ශාක්‍ය රජදරුවන්ට ලබා දුන් සර්වඥ ධාතූන් සේ සැලකෙන ධාතු කොටස් විසි දෙකක් මංජුසාවක තිබී හමු වූ අතර කාබන් පරීක්ෂාවකින් කාලය තහවුරු කර දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ.
බලවත් බෞද්ධ උරුමය හේතුවෙන් ජගත් ප්‍රජාව අතර ප්‍රමුඛ ස්ථානයක් කුෂිනාගර් වෙත ලැබී තිබේ. මීටර් හයක් දිග බුදු පිළිමයක් මහාපරිනිර්වාණය සංකේතවත් කරමින් සොයා ගෙන ඇත. බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් සහිත දේවමාළිගාවෙන් පිටත ඇති කුඩා මාතාකුවර් සිද්ධස්ථානය බුදුන් වහන්සේගේ අවසාන දේශනාව වූ මහාපරිනිර්වාණ සූත්‍රය දේශනා කළ ස්ථානය සලකුණු කරයි. ආදාහනය සිදුවූ ස්ථානයේ අශෝක රජ ඉදිකරන ලද ස්ථුපයක් වෙති. පසුව එය වැඩිදියුණු කර ඇති අතර සැන් එහි නටඹුන් ආරක්ෂා සහිතව තිබේ.


කුෂිනගර් හි අලුත් ගුවන් තොටුපොලක් ඉදිකරනලද අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද එය විවෘත කරන්නට නියමිතය. එහි ළඟාවෙන පළමු ගුවන් යානය ශ්‍රී ලංකාවෙන් පිටත්වීම විශේෂිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එයට ඇරයුම් ලද නමුත් පසුව ඩිජිටල් තාක්ෂණය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ යෞවන හා ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයා වශයෙන් සහභාගී වන බව නිවේදනය කර තිබේ. පළමු ගුවන් යානයේ ගමන පැමිණෙන්නේ සියයකට අධික ශ්‍රී ලාංකේය මහා සංඝරත්නය පළමු බෞද්ධ වන්දනා පිරිස ලෙස රැගෙන බව සඳහන්ය. කුෂිනාගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේ අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නයේ ආශීර්වාදය ඇතිව ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ඉන්දියාවේ ජනතාවට ඉදිරිපත් කරන ලද ඓතිහාසික ඡායාරූප දෙකක් ද එහි දී විවෘත කිරීමට නියමිතය. ඉන්දීයාවේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ගේ යෝජනාවක් මත මෙම ඡායාරූප ස්ථාපනය කිරීමට මහ කොමසාරිස් කාර්යාලය පියවර ගෙන ඇත. බුදුන්ගේ තෙවන ශ්‍රී ලංකා සංචාරය සිදු වූ ස්ථානය ලෙස සැලකෙන කැලණිය රජමහා විහාරයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සොලියස් මෙන්ඩිස් (1897-1975) විසින් පින්තාරු කරන ලද බිතු සිතුවම් දෙකක් මෙම ඡායාරූප වල ඇත. නැළණිය රජමාහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණෝ මෙම චිත්‍ර උපුටා ගැනීමට අවසරය ලබාදීම රෙට අතර සබැඳියාවට මහත් භාග්‍යයකි.
ශ්‍රාවස්ති, කපිලවස්තු සහ නේපාලයේ පිහිටි ලූම්බිණිය වැනි බෞද්ධ වැදගත්කමක් ඇති වෙනත් ස්ථාන ද කෘෂිනාගර් වල සිට වැඩි ඈතක නොවේ. වසංගත තත්ත්වය පාලනය වූ පසු ශ්‍රී ලංකාවේ බැතිමතුන්ට නවදිිල්ලිය මගහැර කෙලින්ම බෞද්ධ සිද්ධස්ථාන කරා ගුවනින් ගමන් කළ හැකිවන අතර එය විශාල ආර්ථික හා කාලය සම්බන්ධ වාසියකි. කුෂිනාගර් වෙත ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයන් ඉහළ නැංවීමට ද මෙම ගුවන් තොටුපොල ඉඩ සලසයි. දෙරට අතර නොනැසී පවතින සබඳතා ඉන්දියාවේ සිට පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රමාණයෙන් විදහා දක්වන බව අවධාරණය කළ යුතුය. පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පිරිසෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් ඉන්දියාවේ සිට පැමිණ ඇති බව දැක්වීම අවශ්‍යය.


කුෂිනාගර් ගුවන් තොටුපල ඉන්දියාවේ විසි නම වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන අතර උත්තර ප්‍රදේශයේ හතරවැනි එක බවට පත්වෙයි. 2010 වසරේ ව්‍යාපෘතිය යෝජනා කරන්නේ පුද්ගලික අංශයේ ව්‍යවසායයක් වශයෙනි. ඉදිකිරීම, පවත්වාගෙන යෑම හා පසුව ඉන්දීය රජයට පවරන ක්‍රමය අනුමත කෙරිණ. සමාගම් 15 ක් ඉදිරිපත් වූ නමුත් පසුව එහි ලාභදායී බව අඩු බව පෙණින. ඉන්දිය සිවිල් ගුවන් සේවා අංශයේ සහාය ඇතිය උත්තර ප්‍රදේශ් මහ ඇමැතිවරයා ව්‍යාපෘතිය කරගෙන ගියේ එහි විශාලත්වය තරමක් සීමා කරමින්ය. විවෘත කිරීමේ කටයුතු ගැන උත්තර ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් මහතා පසුගිය දා සමාලෝචනය කළේය. ගුවන් තොටුපලේ පිරිසිදුකමේ අවශ්‍යතාවය අවධාරණය කළ මහ ඇමතිවරයා සියලූ වැඩ කටයුතු නියමිත වේලාවට අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කුෂිනාගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීම සමග අලුත් දුම්රියකින් අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන සමග සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇත. ඉන්දියාව පුරා පිහිටි බෞද්ධ ස්ථාන කෙරෙහි විශේෂ උනන්දුවක් ඇතිව සංචාරක ක්‍ෂේත්‍රය පුනර්ජීවනය කිරීම කෙරෙහි ඉන්දීය රජයේ අවධානය යොමුව තිබේ. ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, කෝවිඩ් -19 වසංගතයට පෙර ඉන්දියාව බෞද්ධ රටවල් 13 ක පමණ සංචාරකයින් ලක්ෂ 6 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වාගෙන තිබූ හෙයින්, බෞද්ධ සංචරණය දියුණු කිරීමට කුෂිනාගර් ප්‍රවර්‍ධනය කිරීම රජයේ ප්රමුඛතාව බව ය.
කුෂිනාගර් ගුවන් තොටුපල අක්කර 590 ක් පුරා විහිදී ඇත. ගුවන් තොටුපල විශාල ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයුම සඳහා බලපත්‍ර ලබා ඇත. කිලෝමීටර් 3.2 ක් දිග මීටර් 45 ක් පලල ධාවන පථයක් තිබේ.

උපුටා ගැනීම 
සාරා කන්දෙගොඩ

ලංකාදීප පුවත්පත