Wednesday, 24 April 2024

විදෙස් රැකියාවේ නිරතවූවන්ට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදාන වැඩපිළිවෙලක්

Posted On Wednesday, 17 November 2021 06:44

විදෙස් රැකියාවේ නිරතවූවන්ට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදාන වැඩපිළිවෙලක්

 

විදේශයන්හි රැකියාවේ නිරතව සිටකොවිඩ් 19 වසංගතය නිසා සියරට පැමිණි ශ්‍රමිකයින් සඳහා ක්‍රියාත්මක “පෙරදැනුම් ඇගයීම් ක්‍රමවේදය” මඟින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රදානකිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අනුග්‍රහයෙන් හා තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් දියත් කර ඇත.

විදේශයන්හි සේවය කර සියරට පැමිණ නැවත විදේශ ගත වීමට හෝ මෙරට වෘත්තීන්හි නිරත වීමට හෝ අපේක්ෂා කරන අයට ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) එනම් නිපුණතාව සහිතව තමා තෝරාගත් වෘත්තියට පිවිසීමට එය උපකාරි වනු ඇත.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ප්‍රකාශිත නිපුණතා දශකය යටතේ මේ ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ.

මේ සඳහා පවත්වන ඇගයීම් සඳහා මූල්‍ය අනුග්‍රහය ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙනි. නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යංශය, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව සහ ප්‍රධාන පුහුණු ආයතන වන ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනය ඊට එක්වී සිටී.

වැඩසටහන ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැත්විණ. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති, ඉංජිනේරු, උදේනි වික්‍රමසිංහ ,එහි අධ්‍යක්ෂ ජනරාල් කේ.ඒ. ලලිතධීර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජානක ජයලත්, අධ්‍යක්ෂ, ආචාර්ය අජිත් පොල්වත්ත, අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ යන මහත්වරුන් සහභාගි වීය.