Thursday, 18 April 2024

නගර කිහිපයක වායු ගුණාත්මක තත්ත්ව වාර්තාව කාලගුණ වාර්තාවට ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක්

Posted On Monday, 06 December 2021 06:28

නගර කිහිපයක වායු ගුණාත්මක තත්ත්ව වාර්තාව කාලගුණ වාර්තාවට ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක්

 

ශ්‍රී ලංකාවේ නගර කිහිපයක වායු ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කිරීමේ Air Quality Investigation වැඩ පිළිවෙළ පුළුල් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පරිසර අමාත්‍යාංශයට උපදෙස් දී තිබිනි.

ඒ අනුව ලබන වසරේ සිට නගර කිහිපයක වායු ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කිරීමේ වැඩ පිළිවෙළ පුළුල් කරන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඉදිරි වර්ෂයේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත පාරිසරික වැඩ පිළිවෙළවල් සම්බන්ධව සාකච්ඡාවක් පසුගියදා පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

පරිසර අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව යමින් 2022 වර්ෂයේ දී පාරිසරික සංරක්ෂණය උදෙසා වැදගත්වන වැඩ සටහන් රැසක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත එක් වැඩ පිළිවෙළක් වන්නේ වායු ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂාවට ලක් කිරීමයි. දැනට කොළඹ, මහනුවර, කුරුණෑගල, ගම්පහ හා ගාල්ල වැනි නගරවල දිවා කාලයේ පවතින අධික වාහන තදබදය හේතුවෙන් වායුගෝලයේ ඇති කාබන් ප්‍රතිශතය ඉහළ යාමට හේතුවෙයි. එමනිසා දෛනිකව මෙම නගර ආශ්‍රිතව වායු ගෝලීය ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීමට අවශ්‍ය නවීන උපකරණ මිල දී ගැනීමට කටයුතු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.

 

එමෙන්ම වායු ගෝලීය ගුණාත්මක තත්ත්වයන් පරීක්ෂා කරන අතරම ඒවා පිළිබඳ මහජනතාවගේ දැනුම්වත්භාවය උදෙසා අවශ්‍ය පියවර ගන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ යටතේ ලබන වසරේ සිට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන කාලගුණ වාර්තාවට වායුගෝලීය ගුණාත්මක තත්ත්ව වාර්තාව ඇතුළත් කිරීමට අවධානය යොමු කර ඇතැයි වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

 

මේ අතර කොළඹ නගරයේ මාර්ග තදබදය පවතින ස්ථාන රැසක වායුගෝලීය තත්ත්ව මැනීමේ උපකරණ සවිකිරීමට ද තීරණය කරනු ලැබීය.