Thursday, 28 March 2024

‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

Posted On Wednesday, 15 December 2021 09:12

‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

 

‘බෝර්න් ඉන් ශ්‍රී ලංකා’ යන ටැග් නාමය සමඟ ‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ.

‘බෝර්න් ඉන් ශ්‍රී ලංකා- ලංකා කුරුඳු’ ("Born in Sri Lanka - Ceylon Cinnamon") යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රදේශවල ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් සමූහයක සහභාගීත්වයෙන් පසුගිය සතියේ මෙල්බර්න්හි දී පවත්වන ලද වැඩසටහනේ තේමාව යි.

මෙම වැඩසටහනේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානු රෙගුලාසි සහ වෙළඳපොළ ගතිකත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලංකා කුරුඳු ආශ්‍රිත විවිධ අපනයන නිෂ්පාදන සහ එම නිෂ්පාදන ඕස්ට්‍රේලියාව වෙත අපනයනය කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නවතම තොරතුරු පිළිබඳ දැනුම්වත් කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ ලංකා කුරුඳු සම්බන්ධයෙන් පවත්නා වෙළඳපොළ උද්‍යෝගය යළි පණගැන්වීමයි.

මෙම වැඩසටහනට සම්බන්ධ වූ පිරිස් විසින් ඉහත සඳහන් තේමාවට අදාළ තොරතුරු සහ කරුණු ඉදිරිපත් කරන ලදි. ගෝලීය කුරුඳු නිෂ්පාදනයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟින් ලොව විශාලතම ‘සැබෑ කුරුඳු’ නිෂ්පාදකයා සහ අපනයනකරුවා බවට ශ්‍රී ලංකාව පත්ව ඇති අතර 2020 වසරේ දී කුළුබඩු සඳහා ලද ඇමරිකානු ඩොලර් මිලියන 335ක මුළු ආදායමෙන් 56% ක් උපයන ලද්දේ කුරුඳුවලින් පමණක් බව වාර්තා වී ඇත.

වර්තමාන කුරුඳු නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් 21,000ක් වන අතර අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 19,000ක් වේ. එය වසරකට මෙට්‍රික් ටොන් 25,000 - 30,000 දක්වා ව්‍යාප්ත කිරීමේ හැකියාවක් පවතී. කුරුඳු කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකික කුළුබඩු වර්ග ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙන ජාතික වෙළඳ සන්නාමකරණය මීට අදාළව සැළකිය යුතු පිටුවහලක් සපයයි. ප්‍රමිතියෙන් බාල සහ වෙනත් රටවල් විසින් නිෂ්පාදනය කරනු ලබන ‘කැසියා’, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ඉදිරිපත් කරනු ලබන ලංකා කුරුඳුවලට අභියෝගයක් වී ඇති ප්‍රධාන තරඟකරුවා බවට පත්ව ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂිකා ඉනෝකා වනසිංහ මහත්මිය සහ HDDE සමූහයේ සාමාන්‍යාධිකාරී සුමිත් පොන්නම්පෙරුම මහතා මෙහිදී ඉදිරිපත් කිරීම් සිදු කළ අතර කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳපොළ සංවර්ධන අධ්‍යක්ෂ අනෝමා ප්‍රේමතිලක මහත්මිය විසින් ආරම්භක දේශන ඉදිරිපත් කරන ලදි.

ඕස්ට්‍රේලියාවේ කුරුඳු පරිභෝජනයෙන් හතරෙන් එකක් සඳහා ලංකා කුරුඳුවල දායකත්වය ලැබෙන බවත් ඕස්ට්‍රේලියානු වෙළෙඳපොළ තුළ ලංකා කුරුඳු දැවැන්ත ලෙස වර්ධනය කිරීමේ හැකියාවක් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන් සහ නියාමන අවශ්‍යතා ගැන අදහස් දැක්වූ වික්ටෝරියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ජාත්‍යන්තර ව්‍යාපාර සංවර්ධන කළමනාකාර එඩී ෂාඕ මහතා ඕස්ට්‍රේලියාවේ දැඩි ජෛව ආරක්ෂණ නීති පිළිබඳව පැහැදිළි කළේය. ඇතැම් නිෂ්පාදන ආනයන ආශ්‍රිත කොන්දේසිවලට යටත් විය හැකි බවත්, අදාළ ඕස්ට්‍රේලියානු බලධාරීන් වෙත ආධාරක ලියකියවිලි ඉදිරිපත් කළ යුතු බවත්, ඇතැම් නිෂ්පාදන සඳහා ආනයන බලපත්‍ර පවා අවශ්‍ය විය හැකි බවත් ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වගකිව යුතු අධිකාරිය වන ඕස්ට්‍රේලියානු කෘෂිකර්ම, ජලය සහ පරිසර දෙපාර්තමේන්තුව සමඟ www.awe.gov.au යන වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ විය හැකිය.

ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාව වෙත කුරුඳු නිෂ්පාදන ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන් ලැබූ පෞද්ගලික අත්දැකීම් පිළිබඳව සිට්‍රො එසෙන්ෂල් ඕස්ට්‍රේලියා (Citro Essential Australia) සමාගමේ හිමිකරු වන උපුල් කුලරත්න මහතා පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය. ඕස්ට්‍රේලියාවේ රේගු නිෂ්කාශන නියෝජිතයන්ගෙන් උපදේශන ලබා ගැනීමට සහ ඕස්ට්‍රේලියාව සමඟ වෙළඳාම ආරම්භ කිරීමට පෙර ඕස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ අවශ්‍යතා පිළිබඳ දැනුම තවදුරටත් ලබා ගන්නා ලෙස ශක්‍යතා සහිත නව ආනයනකරුවන් සහ අපනයනකරුවන්ට උපදෙස් දුන්නේ ය.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ගායන ශිල්පියෙකු මෙන්ම සූපවේදියෙකු වන ඩොන් ෂර්මන් මහතා විසින් ලංකා කුරුඳු අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගනිමින් සකස් කොට ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාරය මෙම වැඩසටහනේ සුවිශේෂී අංගය බවට පත්විය.

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ඕස්ට්‍රේලියානු-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව සංවිධානය කරන ලද මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා ඕස්ට්‍රේලියාවේ ආනයනකරුවන්, ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්, කොන්සියුලර් බලකායේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ජනමාධ්‍ය සහෝදරත්වය නියෝජනය කළ පිරිස් සහභාගී වූහ. කොන්සල් ජනරාල් කාර්යාලය විසින් සංවිධානය කරන ලද වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවට ඇතුළත් වූ නවතම වැඩසටහන වන්නේ මෙම වැඩසටහන යි.