Friday, 29 March 2024

ශ්‍රී ලාංකීය සිසුන්ට එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ පාඨමාලා රැසක් හැදෑරීමේ වරම්

Posted On Tuesday, 25 January 2022 06:38

ශ්‍රී ලාංකීය සිසුන්ට එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ පාඨමාලා රැසක් හැදෑරීමේ වරම්

 

එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්වවිද්‍යාලයේ පාඨමාලා රැසක් හැදෑරීමේ අවස්ථාව ශ්‍රී ලාංකික සිසුන් වෙත විවර කිරීමට බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවී සිටින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සහ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාල ප්‍රධානී අතර එකඟතාවක් ඇතිව තිබේ.

ශ්‍රී ලාංකිකයින්ට ප්‍රතිලාභ ගෙන දෙන සහ නව රැකියා අවස්ථා ඇති කිරීමට ඉවහල් වන පාඨමාලා සැපයීමේ ඒකාබද්ධ හවුල්කාරිත්වයන් ඇති කිරීමේ අරමුණින් මේ දිනවල එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල වල නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින් සිටින කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සහ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාල ප්‍රධානී අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවය පළ වී ඇත.

2022 ජනවාරි 18 වන දින රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් වන මහාචාර්ය බ්‍රෙන්ඩන් නෝබල් (පාසල් ප්‍රධානී - ජීව විද්‍යා) සහ ස්ටීවන් වොලිස් (ජාතික අධ්‍යාපන අධ්‍යක්ෂ) යන මහත්වරුන් හමුවිය. ඒ අනුව වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ පහත සඳහන් පාඨමාලා සම්බන්ධ එකඟතා නිර්මාණය වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකික සිසුන් හට තිරසාරභාවය සහ STEM වැඩසටහන් පිළිබඳ කෙටි පාඨමාලා ලබා දෙනු ඇත. එසේම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය (CPDs) ලෙස හැඳින්වෙන කෙටි පාඨමාලා, විද්‍යා හා තාක්‍ෂණය, ජෛව තාක්‍ෂණය මෙන්ම මහජන සෞඛ්‍යය යන අංශ ඔස්සේ අධ්‍යනය සඳහා ශ්‍රී ලංකික සිසුන්ට අවකාශ උදාවේ. මීට අමතරව ගෝලීය මහජන සෞඛ්‍ය පෝෂණය පිළිබඳ මෙන්ම සෞඛ්‍ය සහ සමාජ සත්කාර ප්‍රමුඛ හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හැදෑරීම සඳහා ඇතුළත් වීමට ශ්‍රී ලාංකිකයන්ට අවකාශ සැලසෙනු ඇත.

මෙම අවස්ථාවට ලන්ඩන් ස්කුල් ඔෆ් එක්ස්කුලුසිව් එඩියුකේෂන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී(C.E.O, London school of executive education ) චමින්ද ද සිල්වා මහතා ද සහභාගී විය.