Friday, 29 March 2024

''Access to Justice '' උතුරට - උතුරේ ජනතාවට නීතීමය වශයෙන් පවතින ගැටළු විසදීම ''යුක්තියට ප්‍රවේශයක් '' ජංගම සේවයේ මුලික අරමුණයි

Posted On Wednesday, 26 January 2022 09:09

''Access to Justice '' උතුරට - උතුරේ ජනතාවට නීතීමය වශයෙන් පවතින ගැටළු විසදීම ''යුක්තියට ප්‍රවේශයක් '' ජංගම සේවයේ මුලික අරමුණයි

 

උතුරේ ජනතාවට නීතීමය වශයෙන් පවතින ගැටළු විසදීම ''යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවයේ'' මුලික අරමුණ බවත් රටක් ලෙස ඉදිරියට යාමට නම් යුක්තියේ යාන්ත්‍රණය පිළිබඳව ජනතාවට විශ්වාසයක් ඇති විය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.

අධිකරණ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නීතිය බල ගැන්වීම හා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ කර්තව්‍යට ශක්තියක් වීමට උතුරු පළාතේ ජනතාව සදහා අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතනවලින් ලබා දෙන සේවාවන් පිළිබදව ජනතාව දැනුවත් කිරීමට සහ, එම පළාතේ ජනතාවට පවතින නීති ක්ෂේත්‍රය මුලික කර ගත් ගැටළු විසදීම හා නීතිය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සදහා 2022 ජනවාරි මස 26 වන දින සිට 30 වන දින දක්වා උතුරු පළාත ආවරණය කරමින් ''Access to Justice '' නමින් පැවැත්වෙන ජංගම සේවා වැඩ සටහන පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා; යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය උතුරු පලාතේ වව්නියාව, මුලතිව්, යාපනය, කිලිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්ක පහ පුරා ක්‍රියාත්මක වන බව කීය.

නීතිය බල ගැන්වීම හා සමානාත්මතාවයෙන් යුතු සමාජයක් ගොඩනැගීමේ හා නීතිය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ මෙම ජංගම සේවය ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරමින් ඒ ඒ පළාත්වල ජනතාවට පවතින ගැටළු පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරියට ගෙන යන බවත්, මෙම ජංගම සේවය තුළින් උතුරේ ජනතාවට පවතින ගැටළු විසදීම මගින් දේශිය හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවන අභියෝගයන් සදහා මුහුණදීමේදී ශක්තියක් වන බවත්, රට තුළ පවතින ගැටළු සදහා දේශිය වශයෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් පැවතීම ජාත්‍යන්තරයටත් හොද පණිවිඩක් බවත්, පැවසීය.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සමගිය හා සංහිදියා කාර්යාලය, අතුරුදහන් වුවන් පිළිබදව කාර්යාලය, හානි පුර්ණ කාර්යාලය යන ආයතන සෙසු ආයතන සමග එක්ව එම පළාතේ ජනතාවට පවතින ප්‍රශ්න හා ගැටළු ඔවුන් පදිංචි ප්‍රදේශ වෙත ගොස් විසදීම සිදු කරන බවත්, විශේෂයෙන් අතුරුදහන් වුවන්ගේ පවුල් සදහා පවතින ගැටළු විසදීමට හා සංහිදියාවට මෙහිදී ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත්, අතුරුදහන් වු පුද්ගලයින්ගේ පවුල් සදහා යම් අසාධාරණයක් වී ඇත්නම් ඒ සදහා වන්දි ලබාදීමට මෙවර අය වැයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති බවත්, විශේෂයෙන් ජාතීන් අතර සාමය ,සංහිදියාව ගොඩනැංවීම උතුරු පළාතේ පැවැත්වෙන ජංගම සේවයේදී වැඩි අවධානයක් යොමු කරන බවත් ,සංහිදියාව සම්බන්ධව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව සහ තරුණ පිරිස් සමග සාකච්ඡා කරන බවත්, අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා අදහස් දක්වමින් සදහන් කළේ උතුරු පළාතෙන් ආරම්භ කරන මෙම ජංගම සේවා වැඩ සටහනේ දෙවන අදියර නැගෙනහිර පළාත තුළත්, තුන්වන අදියර වශයෙන් දකුණු පළාතේ සහ සිව්වන අදියර යටතේ මධ්‍යම පළාත තුළත් ක්‍රියාත්මක වන බවයි. සංහිදියා වැඩ පිළිවෙළ යටතේ උතුරේ තරුණ පිරිස් හා විශ්ව විද්‍යාල සිසුන් සමග යාපනය විශ්ව විද්‍යාලයේදී සාකච්ඡා කරන බවත්, හානි පුර්ණ කාර්යාලය මගින් 2000 කට අධික පිරිසකට වන්දි ලබාදීමට පියවර ගෙන ඇති බවත් ලේකම්වරයා පැවසීය.

මෙම සුවිශේෂි වු ජංගම සේවා වැඩසටහන උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය ,මන්නාරම, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් 2022 ජනවාරි මස 26 වැනි දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන අතර
එහි ප්‍රධාන ජංගම සේවය ජනවාරි මස 27 සහ 28 යන දෙදින තුළ කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලය මුලික කර ගනිමින් හා 29 සහ 30 යන දෙදින තුළ යාපනය මධ්‍ය මහා විද්‍යාලය මුලික කර ගනිමින් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය.

ජංගම සේවයට සමගාමීව කිලිනොචිචිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම මාන්කුලම, මුලතිව්,හා යාපනය නව අධිකරණ ගොඩනැගිලි විවෘත කිරීමට ද පියවර ගෙන ඇති අතර ජංගම සේවය සාර්ථක කර ගැනීම සදහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ගරු උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන මැති ඇමතිවරුන් සහභාගි වන අතර උතුරේ අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද මෙම ජංගම සේවයට සහභාගී වෙයි.

යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය උතුරේ ජනතාවට පවතින ගැටලු සදහා එම අවස්ථාවේදීම විසදුම් ලබාදීම මුලික කර ගනිමින් පවත්වනු ලබන අතර ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය, නීති ආධාර කොමිෂන් සභාව, ජාතික සමගිය හා ප්‍රතිසංන්ධානය සදහා වන කාර්යාලය, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය, ණය සහන දායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව, ප්‍රජා පාදක විශෝදන දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අතුරුදහන් වුවන් සදහා වු කාර්යාලය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් කොමසාරිස් ජනාරාල් දෙපාර්තමේන්තුව, උතුරු පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, වෘත්තීය පුහුණු අධිකාරිය අතුළු රාජ්‍ය ආයතන විසින් උතුරු පළාතේ ජනතාවට පවතින ගැටලු විසදාලීමේ යුක්තියට ප්‍රවේශයක් ජංගම සේවය සදහා සිය දායකත්වය ලබා දෙයි.