Thursday, 18 April 2024

හෙට අ.පො.ස. (සා.පෙළ) විභාගයට සියල්ල සූදානම් :

Posted On Sunday, 22 May 2022 17:17

හෙට අ.පො.ස. (සා.පෙළ) විභාගයට සියල්ල සූදානම් :


හෙට අ.පො.ස. (සා.පෙළ) විභාගයට සියල්ල සූදානම් : විභාගය සාර්ථකව පැවැත්වීමට සියලු සහයෝගය දෙන්න - අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි

අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සියල්ල සූදානම් කර අවසන් බවත්, විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය මේ අවස්ථාවේ දීලබා දිය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සියලු පාර්ශවයන්ගේන් ඉල්ලා සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2021 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිසුන් හා දෙගුරුන් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ ව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.

පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන් 517496ක් විභාගයට මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. ඒ වගේම විභාග මධ්‍යස්ථාන 3844ක් පවත්වාගෙන යන අතර එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 542ක් පවත්වාගෙන යනවා. මෙවර විභාගය දරුවන්ට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. මේ දරුවන් සියල්ලම දිරිමත් කරනවා ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගන්න කියලා. මානව සම්පත් සංවර්ධනයේ අවසාන ඉලක්කය වන්නේ අභියෝග ජයගැනීම බව අධ්‍යාපන අමාත්‍යතුමන් මෙහිදී ප්‍රකාශ කළේය. තව දුරටත් මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් අධ්‍යාපන අමත්‍යවරයා විභාගය සඳහා ඇති ප්‍රධාන අභියෝගය ඉන්ධන හිඟය බව ‍පෙන්වා දුන්නේය. එම අභියෝග ජය ගැනීමට නම් ඒ සඳහා අප විසින් පහසුකම් සලසා දිය යුතු වෙනවා. එනම් දරුවන් විභාග ශාලාව වෙත රැගෙන යාම හා විභාගය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත අපහසුවකින් තොරව වාර්තා කිරීම වෙනුවෙන්. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් සියලුම ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණය කර බලධාරින් දැනුවත් කර විභාග අයැදුම්පත, විභාග රාජකාරි ලිපි, හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන ලබා දීමට පුමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තියෙනවා.
මේ සඳහා ප්‍රාදේශීය ලේකවම්වරුන්, පොලීසිය දැනුවත් කර තියෙනවා මේ එන කීපදෙනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ඒ අනුව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ අයට සහයෝගය ලබා දෙන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය. රටතුල බරපතල යුද්ධයක් පැවැති අවස්ථාවකදීවත් කිසිදු විභාගයකට බාධාවක් එල්ල වුනු අවස්ථාවක් අප අත්දැකලා නැහැ. වර්තමානයේ රටේ පවතින මෙවැනි තත්ත්වයක් තුල දී කිසිඳු බාධාවකින් තොරව දරුවන්ට විභාගය වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ආයාචනා කළේය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වන විට දුම්රිය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන්, පෞද්ගලික බස්රථ සංගමය, ඛණිජ තෙල් සංස්ථාව, පොලීසිය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංගම් විභාගය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ජුනි 01 දක්වා පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා සහභාගි වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි. ධර්මසේන මහතා සියලුම විභාග අපේක්ෂකයින්, විභාග කටයුතු භාර නිලධාරීන් නියමිත වේලාවටත් වඩා
කලින් විභාග

මධ්‍යස්ථාන වෙත, විභාග රාජකාරි කටයුතු වෙත වාර්තා කළ යුතු බව ඉල්ලා සිටියේය. විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සාර්ථක ලෙස සූදානම් කළ ද විභාග මධ්‍යස්ථාන වෙත වේලාසනින් පැමිණිම අත්‍යවශ්‍යයි. වෙනදාට කලින් උදයෙන්ම අවධි වී ලෑස්තිව වේලාසන්න්ම පාරට යන්න. විභාග කොමසාරිස් ජනරාල් තුමා අවධාරණයෙන් ඉල්ලා සිටී. විභාග අයදුම්පත් යම් ආකාරයකට ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයේ පසුවන අපේක්ෂකයින් විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර විභාගයට පෙනී සිටින්න. තවද, හිජාබ් ඇඳුමෙන් සැරසී එන විභාග අපේක්ෂකයින් මුහුණු ආවරණය නොකර සාමාන්‍ය දින වලදී ඔවුන් හිජාබ් නිල ඇඳුමින් සැරසී යන ආකාරයෙන් විභාග ශාලාව වෙත යන ලෙසත් විභාග කොමසාරිස් ජනරාල්තුමා ඉල්ලීමක් කරයි. විභාගය ආරම්භ වී නියම්ත වේලාව පසුවී එන කිසිදු අපේක්ෂකයෙකු ආපසු හරවා නොයවන්න. විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. විභාග නීතිය අනුව විභාග අපේක්ෂකයෙක් යම් ප්‍රමාදවීමක් වුවහොත් පැය බාගයක පමණක් ප්‍රමාදය සලකා බලයි. නමුත් මෙවර පවතින තත්ත්වය මත දරුවන් හරවා නොයවා ප්‍රශ්න ප්‍රත්‍රය ලබා දීමට උපෙදස් ලබා දී ඇත. ශාලාධිපතිවරුන් හා විභාග කටයුතු භාර අධ්‍යක්ෂවරුන් හා අධ්‍යාපන අමාත්‍යංශය සම්බන්ධීකරණය කරන WhatsApp සමූහයක් මගින් ගැටලු සාකච්ඡා කර අපේක්ෂකයින් වෙත සහනයක් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා ඇත.රටතුල පැවති විවිධ හේතුන් මත විෂය මාලාව ආවරණය කිරීමේ දී පැණ නැගුණු ගැටලු හමුවේ විභාග ප්‍රශ්න පත්‍රය ලිහිල් කර ගුණාමත්මක බව කිසිසේත්ම අඩුකළ නොහැකි බවත්, ලෝකයේ පිළිගත් ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සහතිකයේ වටිනාකමට හානි නොවන පරිදි අපේක්ෂකයින් පිළිතුරු සපයා ඇති ආකාරය බලා තීරණය කර ප්‍රතිපල ලබා දීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්තුමා අවධාරණය කළේය.මේ සියලු අභියෝග හමුවේ ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී පිළිතුරු සපයා විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය සිසු දරුවන්ට ප්‍රාර්ථනය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඒ සඳහා දෙමව්පියන් ද දරුවන්ට ශක්තියක් වී සහයෝගය දෙන්නැයි ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ අමත්‍යවරයා ඉල්ලා සිටියේය.