Wednesday, 24 April 2024

දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය ගැන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැහැදිලි කරයි

Posted On Wednesday, 25 May 2022 08:41

දකුණු කොරියානු රැකියා ක්‍රමවේදය ගැන ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැහැදිලි කරයි

 

ශ්‍රි ලාංකිකයින්ට දකුණු කොරියාවේ රැකියා ලබාදීමේදී අවශ්‍ය තෝරාගැනීම් සිදුකරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් බවත්, ඒ සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිඳු බලපෑමක් සිදුකළ නොහැකි බවත් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොරියානු රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධයෙන් කාර්යාංශය කඩිනමින් පියවර නොගන්නා බවට පළවු මාධ්‍ය වාර්තාවලට පිළිතුරු වශයෙනි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රන්දෙනිය මහතා,

“දකුණු කොරියාවේ කර්මාන්ත ශාලාවල, ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් බඳවාගනු ලබන්නේ වාර්ෂිකව පවත්වන විභාග වලින් ඒ කඩඉම් ලකුණු ලබා සමත්වන පිරිසෙන් වෙනත් පරික්ෂණ පවත්වලා අදාළ සුදුසුකම් ලැබූ අය වෙබ් අඩවියට ඇතුළත් කිරීම මගිනුයි. මෙම සුදුසුකම් සහිත පිරිස වෙබ් අඩවියට ඇතුළත් කළ පසු ඔවුන්ට කොරියාවට පැමිණීමට අවශ්‍ය මූලික ලේඛනය වන, සේවා යෝජකයා ලබා දෙන රැකියා ගිවිසුම කාර්යාංශයට එවනවා. එම ගිවිසුම්වලට අදාළ රැකියා ලාභීන් කාර්යාංශයට කැඳවලා සේවා යෝජකයින් සඳහන් කර ඇති කොන්දේසිවලට ඔවුන් එකග නම් එම ගිවිසුම් අත්සන් කර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ විශේෂ වෙබ් අඩවියට ඇතුළත් කරනු ලබනවා. 2020 වර්ෂයේදී මේ ආකාරයෙන් ගිවිසුම් 1707ක් අත්සන් කර යොමුකර තිබෙනවා. ඒ වගේම 2021 වර්ෂයේදී 1667ක් කාර්යාංශය අත්සන් කර යොමුකර තිබෙනවා. 2022 වර්ෂයේ මේ දක්වා 2347 දෙනෙකුගේ ගිවිසුම් අත්සන් කර අපි කොරියාවට යවා තිබෙනවා. ඒ අනුව 2020/2021/2022 යන වර්ෂ 3දී අපි 5712 දෙනෙකුගේ ගිවිසුම් කොරියාවට යවා තිබෙනවා.

2020 වර්ෂයේ කිසිඳු කෙනෙක් අපිට කොරියාවට යවන්න බැරි වුනේ කොවිඩ් වසංගත තත්ත්වයත් සමග කිසිදු ශ්‍රමිකයෙක් කොරියාවට ගෙන්වා ගත්තේ නෑ. සම්පූර්ණයෙන්ම රට වසා තිබුණා. ශ්‍රි ලංකාවත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දමා තිබුණේ. අපි නැවත කොරියාවට යැවීම ආරම්භ කළේ 2021 වර්ෂයේදී. 2021 වර්ෂයේදී පිටත්ව ගියේ 2019 හා 2020 වර්ෂවල ගිවිසුම් අත්සන් කරලා වීසා සඳහා අවශ්‍ය ලේඛන ලැබුණු පිරිසයි.

පහුගිය දිනවල මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා 1000ක පිරිසක්වත් යවාගන්න බැරිවුණා කියලා. නමුත් 2021 වර්ෂයේදී 1108ක් යවලා තියෙනවා. මේ පිරිස කාර්යාංශය තෝරාගෙන යැවු පිරිසක් නෙවෙයි. කොරියාවේ මානව සම්පත් සංවර්ධන ආයතනය විසින් තෝරාගෙන අප වෙත නාමලේඛනය එවූ පිරිසක් තමයි මේ. ඒ වගේම 2022 වර්ෂයේ 907 දෙනෙකු පිටත් කර තිබෙනවා. මේ 2108 දෙනාම තෝරා එව්වේ කොරියාවෙන්. ගිවිසුම් අත්සන් කළ තවත් පිරිසක් ඉන්නවා CCVI (Certificate of Conformation Visa Issue - වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය) ලේඛන නොලැබුණු. කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව ගිවිසුම් අත්සන් කරපු අයට වීසා ලබාදීම පිළිබඳව සොයා බලා අවශ්‍ය ලේඛන එවනවා. ඒ අය තීරණය කරනවා නම් විතරයි ගිවිසුම් අත්සන් කළත් CCVI (Certificate of Conformation Visa Issue - වීසා නිකුත් කිරීමට අදාළ වූ අනුකූලතා සහතිකය) ලේඛන ලැබෙන්නේ. කාර්යාංශයට බලයක් නෑ ගිවිසුම් අත්සන් කරපු සියල්ලම කොරියාවේ යවන්න.

2021 වර්ෂයේ ගිවිසුම් අත්සන් කල 1667 දෙනෙකු අතුරින් මීට සති දෙකකට පෙර කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය දැනුම්දුන්නා 1428 දෙනෙකුගේ නාම ලේඛනය කොරියාවට එවන්න කියලා. මේ පිරිස 175-200 ත් අතර කණ්ඩායම් වශයෙන් සෑම සතියකම අපි කොරියාවට යවන්න කටයුතු කරනවා. මේ සියළු දෙනා උපරිම වශයෙන් මාස 2ක් දකුණු කොරියාව බලා පිටත්ව යනවා. ඉතිරි පිරිසත් බොහෝ දුරට ජූලි මාසයේ සිට පිටත්වීම් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ගිවිසුම් අත්සන් කරපු අයට CCVI ලේඛන ලැබුණා නම් ඔවුන් පිටත් කිරීම සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් අපිට නෑ. ඒ අනුව සතියට 200 බැගින් මාසයකට 800ක් පමණ කොරියාවට යවන්න පුළුවන්. කිසිඳු අකාර්යක්ෂමතාවකින් තොරව දකුණු කොරියාව කියන පමාවට ශ්‍රි ලාංකිකයින් යවන්න කාර්යාංශය සැදී පැහැදි සිටිනවා.”