Friday, 19 April 2024

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

Posted On Saturday, 25 June 2022 16:15

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 35 ක් නාවික හමුදා භාරයට

 

නාවික හමුදාව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු ප්‍රදේශයේ ජුනි මස 23 වන දින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 35 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව 2022 ජුනි මස 23 වන දින සවස් කාලයේ පානදුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව පිරිමි පුද්ගලයන් 25ක්, කාත්තාවන් 04ක් හා ළමුන් 06 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම එහිදි සිදුකරන ලද වැඩිදුර පරික්‍ෂාවේදී නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රාවෙහි එන්ජිමෙහි කාර්මික දෝෂයක් පවතින බවද නිරීක්‍ෂණයවූ අතර, එම යාත්‍රාව දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ පවතින බවද අණාවරනය විය.

තවද, වයස අවුරුදු 06ත් 56ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, ත්‍රීකුණාමලය, මන්නාරම, මඩකලපුව, මීගමුව, කල්පිටිය සහ නුවරඑළිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ජාවාරම්කරුවන් විසින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

එමෙන්ම, මෙවැනි මිනිස් ජාවාරම් සඳහා පැරණි හා දීර්ඝ මුහුදු ගමනකට නුසුදුසු තත්වයේ බහුදින ධීවර යාත්‍රා යොදාගන්නා බවට දිගින් දිගටම නිරීක්‍ෂණය වන බැවින්, එවැනි යාත්‍රා මඟින් නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සාහ කිරීමෙන් තම ජීවිත විශාල අවදානමකටද ලක්විය හැකි බවත් නාවික හමුදාව මහජනතාව වෙත අනතුරු අඟවා සිටියි.