Friday, 19 April 2024

රුමේනියානු ශ්‍රමික ගැටලුවලට විසදුම් - රුමේනියානු රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින්ට විශේෂ පුහුණුවක්

Posted On Friday, 01 July 2022 16:33

රුමේනියානු ශ්‍රමික ගැටලුවලට විසදුම් - රුමේනියානු රැකියාවලට පිටත්ව යන ශ්‍රමිකයින්ට විශේෂ පුහුණුවක්

 

රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සූම් සාකච්ඡාවක් රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර (30) දින පැවති අතර ශ්‍රමිකයින් මුහුණදෙන ගැටලුවලට ක්ෂණික විසදුම් ලබාදීමටද පියවර ගත්තේය.

රුමෙිනියාවේ රැකියා සදහා පිටත්ව යන පිරිස් සදහා වෙනම පුහුණුවක් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට ශ්‍රමිකයින් ඉල්ලා සිටි අතර ඔවුන්ට විශේෂිත පුහුණුවක් ලබාදීම සදහා වන ක්‍රමවේදය වහාම ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

රුමේනියාවේ රැකියාවල නියුතු ශ්‍රමිකයින්ගේ සේවා ගිවිසුම්වල ඇති ඇතැම් ගැටලු පිළිබදවත් රියදුරු බලපත්‍ර ලබාගැනීම සම්බන්ධවත් ශ්‍රමිකයින් මෙහිදී කරුණු දැක්වුවේය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීම මත එම ගැටලුවලට විසදුම් ලබාදීමට කටුතු කරන බවටද ඇමැතිවරයා සහතිකයක් ලබාදුන්නේය.

විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මාසිකව ඩොලර් මිලියන 500ක මුදලක් නීත්‍යානුකූල ක්‍රමය ඔස්සේ එවන්නේ නම්, ඩොලර් අර්බුදය නිසා රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට විසදුම් ලබාදිය හැකි බව මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. දැනටමත් බැංකු ක්‍රමය හරහා මුදල් එවන බව ශ්‍රමිකයින් පැවසූ අතර පහසුවෙන් රටට මුදල් එවීම සදහා ලංකාවේ බැංකු ශාඛාවක් එරට විවෘත කරන ලෙසද ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැනීමටද ඇමැතිවරයා සහතික විය.

පසුගිය සතියේදී මනුෂ නානායක්කාර ඇමැතිවරයා රුමේනියානු තානාපතිතුමන් සමග සාකච්ඡා කළ අතර එහිදී මතුවූ කරුණු පිළිබදවත් ශ්‍රමිකයින් දැනුවත් කිරීමට කටයුතු කළේය. රැකියා මාරු කිරිමේදී ජාවාරම්කරුවන්ට හසු නොවිය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී සදහන් කළේය. රුමේනියාවේ නීතියට අනුගතව කටයුතු කරමින් ලංකාවට වැඩියෙන් රැකියා අවස්ථාවන් ප්‍රමාණයක් ලබාගත හැකි අයුරින් කටයුතු කරන ලෙසද ඇමැතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.