Wednesday, 24 April 2024

ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගත යුතුයි-ක්‍රීඩා අමාත්‍ය

Posted On Sunday, 03 July 2022 17:07

ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගත යුතුයි-ක්‍රීඩා අමාත්‍ය

 

ගම් මට්ටමින් ක්‍රීඩකයින් වැඩි වශයෙන් ක්‍රීඩාවට ගෙන ඒමට ක්‍රීඩා සංගම් හා සම්මේලන මූලිකත්වය ගෙන ක්‍රියාකළ යුතු බව වාර්මාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ (30) දින ජාත්‍යන්තර තරඟාවලි හරහා රටට ජයග්‍රහණ ලබා ගැනීම සදහා ක්‍රියාත්මක කළ යුතු ඉදිරි සැළසුම් හා ඒ සඳහා අමාත්‍යාංශයේ දායකත්වය කෙසේ විය යුතුද පිළිබදව ක්‍රීඩා සංගම් හා සම්මේලනවල නිළධාරීන් හා පුහුණුකරුවන් සමග ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දී ය.

එහිදී අමාත්‍යවරයා මෙසේ පැවසීය.

පාසල්වලට ගම්වලට ගොස් දක්ෂයෝ තෝරාගන්න වැඩපිළිවෙළක් අපි එදා දැක්කේ නැහැ. මම සොයා බලපු තොරතුරු අනුව යම් තරඟයකට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන කෙනා තෝරා ගන්නවා මිස ගම්වලට පැමිණ පාසලට පැමිණ ක්‍රීඩාවට දක්ෂයින් තෝරාගන්න වැඩපිලිවෙලක් අද දුටුවෙත් නැහැ. අපි අමාත්‍යාංශය ලෙස ගමින් ගමට ගොස් ගමේ දක්ෂ දරුවන් හදුනාගෙන ඔවුන් ක්‍රීඩාවට යොමු කරවීමට වැඩපිළිවෙලක් ආරම්භ කළා. මේ සදහා ඒ ඒ ක්‍රීඩාවන්ට අදාල ක්‍රීඩා සංගම් හා සම්මේලන නායකත්වය ලබා දිය යුතුයි.

ගමේ දක්ෂ දරුවන් තෝරාගෙන ඔවුන් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පදක්කම් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බවට පත් කළ හැකියි. එහි ගෞරවය හිමිවිය යුත්තේ සංගමයට හා සම්මේලනයට. අවශ්‍ය සහයෝගය අපි ලබා දෙන්නම්.

ශ්‍රී ලංකාව දක්ෂතා ජානවලම පිහිටලා තිබෙන මිනිසුන් සිටින රටක්. අපි සප්ලිමන්ට් භාවිතා නොකළාට සවි ශක්තිය තිබෙන ජාතියක්. එදා තරඟ කළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ, 1996 ලෝක කුසළානය ගෙනාපු ක්‍රීඩකයෝ බිහි වුණේ අපේ රටින්. නියත වශයෙන්ම අපිට කියන්න පුලුවන් සුලු ජනගහණයක් සිටින අපේ රටේ අති දක්ෂයින් සිටින බව සහතිකයි. පැහැදිලියි.

 

ක්‍රීඩා සංගම් හා සම්මේලන කිහිපයක් ස්වයංව ගොඩ නැගෙන ආයතනය ලෙස ක්‍රියා කරනවා. අපි අනෙක් ක්‍රිඩා සංගම් හා සම්මේලනත් ඒ තත්ත්වයට ගෙන ආ යුතුයි. ක්‍රීඩා සංගමයක්, සම්මේලනයක් අනෙක් ආයතන සදහා ද යම් දායකත්වයක් ලබා දිය හැකි ආකාරයට ගොඩ නැගිය යුතුයි. දක්ෂතා, කුසලතා ඔප නන්වමින් රට තුළ ක්‍රීඩා සේවාවක් ලෙස ආරම්භ කර යම් තැනකට ගෙන ආ හැකියි. නිවැරදි දැක්ම හා උවමනාව අපිට තිබෙනවානම් ඒ ඉලක්ක ජය ගත හැකියි.

ක්‍රීඩකයින් මුලදී ක්‍රීඩාවට ලොකු උනන්දුවක් තිබෙනවා. ඉන් පසු ඔවුන් මුදල් පැත්තට නැඹුරු වෙනවා. ගෙදර ආර්ථික ප්‍රශ්න ආවාම මොන උත්සාහය දැරුවත් නැවත ඔවුන් ගොඩ ගැනීමට අපහසුයි. පළමුව අපි ක්‍රීඩකයා පිළිවදව හොද අධ්‍යනයක් කළ යුතුයි. ඔවුන්ගේ පසුබිම සොයා බැලිය යුතුයි. ජාත්‍යන්තර ජයග්‍රහණ බලාපොරොත්තුවෙන් ක්‍රීඩකයින් බිහි කිරීමේදී මුදල් පමණක් ඔවුන්ට ලබා දීමෙන් ඵලක් නැහැ. ඔවුන්ගේ දක්ෂතා දිනෙන් දින තනතුරු ලැබෙන්න ලැබෙන්න, දක්ෂතා පෙන්නන්න පෙන්නන්න නිහතමානී වීම ඉතා වැදගත්. මේ දේවල් පුහුණුවෙන් ලැබිය යුතුයි. දේශපාලනයේදීත් එය පොදුයි. තනතුරු ලැබෙන්න ලැබෙන්න එක කොටසක් උදම් අනනවා. තව කොටසක් නිහතමානීව කටයුතු කරනවා. ඒක ඉතා වැදගත්. සෑම ක්‍රීඩාවකටම එය අදාලයි. දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙක් උදම් අනමින්
කටයුතු කළොත් එතනදී යම් ක්‍රීඩකයෙක් පිරිහෙන්න පටන් ගන්නවා. එසේ නොවී කටයුතු කිරීම තමා ඉතා වැදගත්. නිවසේ ගැටලු, ආර්ථික ගැටලු, සමාජීය ගැටලු මෙන්ම දක්ෂතා නිසා උදම් ඇනීම වැනි කරුණු නිසා තමයි ගොඩාක් වෙලාවට අපේ රටේ ක්‍රීඩාව පරිහානියට පත් වෙන්නේ.

ක්‍රීඩා සංගම් හා සම්මේලන නිවැරදි සැළැස්මකට අනුව කටයුතු කරනවා යැයි විශ්වාසය තහවුරු කළ පසු ක්‍රීඩාවට උදව් කිරීමට විශාල ආයතන ප්‍රමාණයක් බලා සිටිනවා. රජයක් ලෙස පසුගිය කාල සීමාව පුරාවටම භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දෙනවා. ඒ මුදල් සංගම් හා සම්මේලන වෙත ලබා දෙනවා. ඒ මුදල් යොදවා ලබා ගත් ප්‍රථිපල කුමක්ද කියා අපේ හෘදසාක්ෂියට අනුව කතා කලොත් සෑහීමකට පත් විය නොහැකි මට්ටමක තිබෙන්නේ. ඒ සම්බන්ධව වරදවා තේරුම් ගන්න එපා. රජය මෙපමණ අපහසුතා තිබෙන මොහොතක ඔබේ ක්‍රීඩාව සම්බන්ධ ගැටලු වලදී අපිට දිය හැකි සහාය ලබා දෙනවා. රජයෙන් මුදල් ලැබුනත් නැතත් ක්‍රීඩාවට අවශ්‍ය අපේ සහයෝගය උපරිම වශයෙන් ලබා දෙනවා.

මේ සාකච්ඡාව හරහා අපිට දැනට තිබෙන ගැටලු සදහා විසදුම් ලබා ගෙන අලුත් වැඩපිළිවෙළක් සකස් කරගමු. ක්‍රීඩා පනත සකස් වෙනවා. මාස 03 කින් කෙටුම්පත ඉදිරිපත් කරන්න හැකි වේවි. “සෑම පුරවැසියෙකුම කුමන හෝ ක්‍රීඩාවක නිරත විය යුතුයි’’ යන්න එහි අඩංගු කර තිබෙනවා.විදේශ තරඟාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීමේදී චක්‍රලේඛයේ සඳහන් ආකාරයටම මාස 06 කට පෙර පූර්ව අනුමැතිය සඳහා කණ්ඩායම් යොමු කළ යුතුයි. ජාත්‍යන්තර තරඟාවලියක් සැළසුම් කරන්නේ වසර ගණනාවකට පෙර සිටයි. පෙර සිටම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංචිත ගත කර පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි. ඒ අනුව මාස 06 කට පෙර තරඟාවලිය සඳහා පුහුණුවීම් කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවක් පූර්ව අනුමැතිය සදහා අමාත්‍යාංශයට යොමු කිරීමේ හැකියාව පවතිනවා. නීති හා රෙගුලාසි වලට අනුව ක්‍රියා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය බැදී සිටිනවා.

කල් වේලා ඇතිව විදේශ තරඟාවලි සඳහා සහභාගී කරවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් සඳහා පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් ඒ ඒ රටවලට වීසා අයදුම් කිරීමට කාලය තිබෙනවා. තරගාවලියට දින කිහිපයකට පෙර ක්‍රීඩක ක්‍රිඩිකාවන් අනුමැතිය සදහා ලැයිස්තුව ඉදිරිපත් කර වීසා සඳහා කිරීමේදී සියලු නිළධාරින් අපහසුතාවයට පත් වෙනවා. මෙතෙක් සිදු වූ ක්‍රමවේදය මෙයයි. සංගමය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා වීසා නිළධාරියාට කතා කරන ලෙස. කිසිම අවස්ථාවක එලෙස වීසා නිළධාරියාට බලපෑම් කළ නොහැකියි. යම් හෙයකින් වීසා සකස් කර ගැනීමට නොහැකි වුවහොත් මාධ්‍ය හරහා ප්‍රචාරයවන්නේ අමාත්‍යාංශය අකාර්‍යක්ෂමයි යනුවෙන්. මෙවැනි ගැටලු අපි විසදා ගත යුතුයි.

සෑම සංගමයක්, සම්මේලනයක් විසින්ම තරඟාවලියකට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා අභිප්‍රේරක වරයෙකුගේ සේවය ලබා ගැනීම මගින් තරගාවලියේ පදක්කම් දිනාගැනීමේ ඉලක්කය ශක්තිමත් වෙනවා. එමෙන්ම ක්‍රීඩකයින් මුහුණ පාන ආයතනික, සමාජීය හා ගෘහස්ථ ගැටලු පිළිබදව අභිප්‍රේරක සමග සෘජුවම කතා කිරීම තුළින් ඒ සදහා විසදුම් ලබා ගැනීමෙන් ඔවුන්ගේ මනස වඩා නිවැරදිව ක්‍රීඩාව සදහා යොමු කිරීමේ අවස්ථාව හිමි වෙන බව මා විශ්වාස කරනවා.

ඔබ සඳහන් කළ ආකාරයට ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගැටලු මම හදුනාගත්තා. සමස්ත ලංකා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයක් පිහිටුවන්න කටයුතු කරන්න. දැනට එක් එක් ක්‍රීඩාවන්ට වෙන වෙනම පුහුණුකරුවන්ගේ සංගම් තිබෙන බව මා දැනුම්වත් වූවා. ක්‍රීඩාවේදී බෙදීම් ඉවත් කරමු. අපි ඒ ඒ පුහුණු සංගම් එකතු වී ලංකාවට ප්‍රධාන සංගමයක් ස්ථාපිත කරමු. ඒ හරහා පුහුණුකරුවන්ට වඩා හොද සේවාවක් ඉටු කර ගත හැකි බව මා විශ්වාස කරනවා.

ඉදිරියේදී ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවන් හි තරගාවලි ශ්‍රී ලංකාව තුළ සංවිධානය කිරීමට මෙම සංගම් හා සම්මේලන කටයුතු කළ යුතු වෙනවා. එම තරඟාවලි සඳහා රූපවාහිනී අයිතීන් ලබාදී ඒ හරහා යම් විදේශ මුදල් ප්‍රමාණයක් සංගමයට උපයා ගත හැකියි. විදේශීය රටවල ජනප්‍රිය ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකාව තුළ තරගාවලි සංවිධානය කිරීම තුලින් ක්‍රීඩා ආර්ථිකයට යම් දායකත්වයක් ලබා ගැනීමට හැකි බව මා විශ්වාස කරනවා.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රේණිගත කිරීම්වල ‘‘බී’’ කාණ්ඩයේ සිටින ජාතික මලල ක්‍රීඩා, දැල් පන්දු, පා පැදි, ජල ක්‍රිඩා, කරාතේ දෝ, ගොල්ෆ්, දුනු විදිම, අත් පන්දු, බැඩ්මින්ටන් හා වූෂු යන සංගම් හා සම්මේලනවල නිළධාරී මහත්ම මහත්මීන්, පුහුණුකරුවන් සහභාගී වූහ.