Thursday, 28 March 2024

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Posted On Thursday, 07 July 2022 09:16

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

 

උතුරු මුහුදේ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී උතුරු මුහුදේ අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2022 ජුලි 04 වන දින සවස් කාලයේද ක්‍රියාත්මක කළ අතර, එහිදී මෙරට මුහුදු සීමාව තුළ අනලතිව් දූපතට නුදුරෙන් වූ මුහුදේ අනවසර ධිවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කර, මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා යාපනය, අනලතිව් දූපතට නුදු‍රෙන් වූ මුහුදු ප්‍රදේශය තුල අනවසර ධීවර කටයුතු සිදුකරන බව නිරික්‍ෂණය කළ නාවික හමුදාව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා එම ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදි, මෙරට මුහුදු සීමාවට ඇතුළුව අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සහ එහි සිටි ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු ධීවර ආම්පන්න සමඟ අනලතිව් දූපත ආසන්න මුහුදේදී මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, 2022 ජුලි මස 03 වන දිනද ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකළ මෙවැනි මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු පේදුරුතුඩුවට නුදුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් අතර, මේ වන විට එම ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ ඉන්දීය ධීවරයින් 17 දෙනා ඉදිරි නීතිමය කටයුතු සඳ‍හා යොමු කොට ඇත. එමෙන්ම, මෙරට මත්ස්‍ය සම්පත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි මෙහෙයුම් ඉදිරියටත් අඛණ්ඩව සිදුකරනු ලබයි.