Saturday, 20 April 2024

සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් - කෝප් කමිටුවෙන් නිර්දේශ

Posted On Thursday, 07 July 2022 09:21

සියාම් සමාගමේ ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම සහ වැඩි මිලට ගෑස් මිලදී ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් - කෝප් කමිටුවෙන් නිර්දේශ

 

 ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළිබදවත් වහාම සොයා බලන ලෙස උපදෙස්...
 අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම මුදල් අමාත්‍යාංශයෙන් පත් කිරීම වෙනුවට මව් සමාගම හරහා පත් කිරීමටත් නිර්දේශ...

සියාම් ගෑස් සමාගමෙන් ඇ.ඩො 96 ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට ඇ. ඩො 129 බැගින් ගෑස් මෙ.ටො ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට ඊයේ කැදවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් සදහා ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැදවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ලබා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීහු ප්‍රකාශ කළහ. මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැදවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසුහ.

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙ.ටො 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙ.ටො 6600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව මෙහිදී හෙළිවිය. එහෙත් වාර ටෙන්ඩරය සදහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඔමාන සමාගම මසකට ගෑස් මෙ.ටො 25000 බැගින් මෙ.ටො ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය.

ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සදහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය. ඒ සදහා ලෝකබැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.

ගෑස් අවශ්‍යතාව අත්‍යවශ්‍ය හදිසි තත්ත්වයක් වුවද අවම ලංසුකරු වන සියම් සමාගම වෙනුවට වැඩි මිලට ඕමාන සමාගමෙන් මිලදී ගැනීම ඉදිරියේදී නරක පූර්වාදර්ශයක් සැපයිය හැකි බැවින් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකොට ලෝක බැංකු ඇ.ඩො මිලියන 70 ක මුදල ඵලදායි ලෙස යොදා ගත්තේද යන්න සොයා බලා වාර්තා කරන ලෙස මෙහිදී කෝප් සභාපතිවරයා විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.

ඉන්දියානු ණය පහසුකම යටතේ ගෑස් මිලදී ගැනීමට වෙන් කරන ලද ඇ.ඩො මිලියන 160 ක මුදලින් ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම පිළබදවද කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පවසා සිටියේ ඉන්දීය රජයේ කොන්දේසි අනුව එරට නිෂ්පාදනයක් නොවන ගෑස් මිලදී ගැනීම ගැටලුවක්ව ඇති බවයි. මේ පිළිබදව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව කඩිනමින් සොයා බලා සති දෙකක් තුළ වාර්තා කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දැනට පත් කර ඇති සාමාජිකයන් ගණන 4 දෙනෙකු පමණක් වීම පිළිබදවත් මෙහිදී අවධානය යොමුවිය. නෛතික තත්ත්වය අනුව සාමාජිකයන් 5 දෙනෙකු සිටිය යුතු බවත් අනාවරණය විය. තවද අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් පත් කිරීම සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශය බැවින් මව් සමාගමේ නියෝජිතයන්ගෙන් සමන්විත වන පරිදි අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහිදී පෙන්වා දුන් අතර ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට කෝප් සභාපතිවරයා නිර්දේශ කළේය.

සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී යන තනතුරු දෙකම එකම පුද්ගලයෙකු දැරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා විය. සමාගමේ සභාපති තනතුරවෙනස් වුවද ස්ථිර ප්‍රධාන විධායක නිලධාරී තනතුරක් පැවතීම ආයතනයේ යහ පැවැත්ම සදහා අතවශ්‍ය බැවින් ඒ සදහා කඩිනමින් කටයුතු කිරීමේ වැදගත්කම කමිටුව අවධාරණය කරන ලදී. මෙහිදී ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ මෙම අර්බුදකාරී තත්ත්වය සමනය වූ වහාම ඒ සදහා කටයුතු කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ වන විටත් තීරණයක් ගෙන ඇති බවයි. ඒ සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගෙන වාර්තා කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

ලිට්‍රෝ සමාමේ මවු සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ලිට්‍රෝ සමාගමට මූල්‍ය සහය ලබා ගැනීමට ඇති හැකියාව පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. එහිදී රක්ෂණ සංස්ථාවේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේ සමාගම සතු රුපියල් බිලියන 5ට ආසන්න මුදලක් රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීම නිසා පසුගිය කාලයේ ගෑස් මිලදී ගැනීමේ හැකියාව ලැබුණු බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා නියෝජනය කරමින් භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් සමන් ප්‍රනාන්දු, රක්ෂණ සංස්ථාවේ සභාපති ලිට්‍රෝ හිටපු සභාපති විජිත හේරත්, ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් යන මහත්වරු ඇතුළු නිලධාරීහුද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපති තෙසාර ජයවර්ධන මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේද මෙම අවස්ථාවට සම්බන්ධ විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, මහින්දානන්ද අළුත්ගමගේ, අනුර කුමාර දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ආචාර්ය සරත් වීරසේකර, ජගත් පුෂ්පකුමාර, ඉන්දික අනුරුද්ධ, එස්. එම් මරික්කාර්, ජයන්ත සමරවීර, ආචාර්ය නාලක ගොඩහේවා, ප්‍රේම්නාත් සී දොලවත්ත සහ මධුර විතානගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.