Friday, 19 April 2024

වැරදි කළ රැකියා ඒජන්සිකරුවෝ පැමිණිලිකරුවන්ට ගෙවූ වන්දිය කෝටි තුන ඉක්මවයි

Posted On Friday, 20 January 2023 07:29

වැරදි කළ රැකියා ඒජන්සිකරුවෝ පැමිණිලිකරුවන්ට ගෙවූ වන්දිය කෝටි තුන ඉක්මවයි

 

විදේශ රැකියා ඒජන්සි ආයතන වලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සි පාර්ශව වෙතින් රු.38,087,000.00 (තුන්කෝටි අසුලක්ෂ අසුහත්දහසක) මුදලක් පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇත.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී කරුණු පදනම් කරගෙන ලැබුණු පැමිණිලි විභාගකිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝග මත මෙම මුදල් පැමිණිලි කරුවන් වෙත ගෙවා ඇත. මෙම මුදල 2022 වසරේ ජනවාරි 01 දිනසිට දෙසැම්බර් මස 31 දින දක්වා කාලය තුල පමණක් විභාග කල පැමිණිලිවලට අදාලව වන අතර, මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහල අගයකි. 2021 වසරේ මෙලෙස අයකර දෙන ලද මුදල රු. 8,945,900 කි.

කාර්යාංශ පනතේ ප්‍රතිපාදනයන්ට යටත්ව කටයුතු කිරීමට චක්‍රලේඛ මගින් දැනුවත් කළද එයට පටහැනිව කටයුතු කළ විදේශ රැකියා නියෝජිතායතන 17ක කම්කරු බලපත්‍ර මේවන විට අවලංගු කිරීමටද කාර්යාංශය පියවර ගෙන ඇත. තවදුරටත් පවතින පැමිණිලි පරික්ෂණවලට අදාල නිර්දේශමත තවත් ඒජන්සි ආයතන 27ක
බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇත.

2022 වර්ෂය තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1334ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 744ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව වේ. එම සංඛ්‍යාලේඛන අනුව මෙම කාලසීමාව තුළදී පැමිණිලි 922ක ප්‍රමාණයක් විසඳා අවසන්කර වන්දි මුදල් ලබාදීමටත්, පැමිණිලි 214ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර දඩුවම් ලබාදීමටත් පියවර ගෙන ඇත. එහිදී නඩු 116ක ප්‍රමාණයක් ගොනුකර ඇත්තේ ඒජන්සි ආයතන වලට එරෙහිවය.

විදේශ රැකියා ක්ෂේත්‍රය තුළ පවතින නීතිවිරෝධි එනම්, කාර්යාංශ බලපත්‍ර නොමැති ආයතන වැටලීම කාර්යාංශ විමර්ශන අංශය විසින් දිගින් දිගටම සිදුකරන අතර, ඒ අනුව 2022 වර්ෂය තුළදී වැටලීම් 27ක් සිදුකර, පුද්ගලයින් 77 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇත.

විදේශ රැකියා සඳහා පුද්ගලයින් යොමුවීමේ ප්‍රවණතාවයක් පවතින මෙවන් අවධියක විදේශ රැකියා සිහිනය සැබෑකර ගැනීම සඳහා නිවැරදි මාර්ගය තෝරාගැනීම සෑම ශ්‍රි ලාංකිකයෙකුගේම වගකීම වන අතර, තමා විදේශ ගතවීමට අපේක්ෂිත රටෙහි නියමිත රැකියා සඳහා පවතින අවස්ථා පිළිබඳව පූර්ව තොරතුරු කාර්යාංශය වෙතින් ලබාගැනීමත්, ඒ සඳහා කාර්යාංශ වෙබ් අඩවිය www.slbfe.lk හා 24 පැය ඇමතුම් මධ්‍යස්ථානය 1989 අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගැනීම සිදුකළ යුතුවේ.

ඊට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රය නියාමනය කරනු ලබන ආයතනය වශයෙන් මහජනයා වෙත පිළිගත හැකි හා හදුනාගත හැකි විදේශ රැකියා ආයතන වශයෙන් කාර්යාංශ නීතිරීති හා අණපනත් සදහා අනුකූලව කටයුතු කරන ලියාපදිංචි ආයතන මේ වන විට පවතින බැවින් සෑම විදේශ රැකියා අපේක්ෂකයෙකු සඳහාම නිවැරදිව විදේශ රැකියා ලබාදීම ඔවුන්ගේ වගකීම වන බැවින් ඒ සඳහා එම ආයතන කටයුතු කරන ආකාරය ගැන කාර්යාංශය විසින් විශේෂ අවධානය යොමුකරනු ලබයි. එහි ප්‍රතිපලයක් ලෙස බලපත්‍ර පැවතියද යම් යම් නීතිවිරෝධි හෝ වැරදි කටයුත්තක් යම් නියෝජිතායතනයක් සිදුකරයි නම් එම ආයතන නීතිය ඉදිරියට රැගෙන ගොස් ඒ සඳහා පවතින ප්‍රතිපාදනවලට අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමත් කාර්යාංශය නිරතුරුවම නොපැකිලව සිදුකරනු ලබයි.