Tuesday, 23 April 2024

දුම්රිය සේවා- සිසුන්ට ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පහසුකම්

Posted On Sunday, 22 January 2023 16:30

දුම්රිය සේවා- සිසුන්ට ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පහසුකම්

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දුම්රිය කාල සටහනට අනුව ක්‍රියාත්මක කෙරෙන දුම්රියන් සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවත් මීට අමතරව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 12ක් සහ මුහුුුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 4ක් වැඩිපුර යොදවා තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරී එන් .ජේ.ඉඳිපොළගේ මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

සේවක හිඟය හේතුවෙන් පසුගිය කාලසීමායේ අවලංගු කරන ලද දුම්රිය වාර,උදෑසන 7ත් සවස 5ත් අතර කාලය තුළ නැවත ධාවනයට එක් කර ඇති බවද ඒ මහතා කියා සිටී.

මෙම කාලය තුළ දුම්රිය ප්‍රමාදයන් සිදුවන්නේ නම් ඒ අවස්ථාවේ ධාවනය කෙරෙන ශීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමීව ධාවනය කර සිසුන්ට ප්‍රමාදයකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පහසුකම් සළසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

යම් කෙනෙකුට එවැනි ගැටලුවක් , අපහසුතාවයක් ඇති වන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ 1971 ක්ෂණික ඇමතුම් අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඉඳිපොළඟේ මහතා ඉල්ලීමක් කෙරේ.මෙම කටයුතු අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකරිවරයෙක් පත් කර ඇති බවද ඒ මහතා කියා සිටී.

වව්නියාව කන්නසන්තුරය දුම්රිය ස්ථාන අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ සඳහා වෙනමම දුම්රියක් ස්ථානගත කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.