Thursday, 18 April 2024

ගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක්

Posted On Thursday, 26 January 2023 06:05

ගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක්

 

මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ගොයම් කහපැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එමදෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාළ වාර්තාවක් (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්මඅමාත්‍යාංශයේ දී ඉදිරිපත් කර තිබේ.

ගොයම් කහ පැහැවීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතවාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා මින් පෙර කෘෂිකර්මදෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබිණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහපැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14ක තම නිලධාරින් යොදවා විමර්ශන කටයුතු සිදුකර තිබේ. ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයක් මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩාවන් ගොයම්ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ හානිය (Rice Thrift) , දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) , යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන් මෙලෙස හඳුනාගෙන තිබේ.

ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුම්වත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහාකෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිල දී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරමහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී තිබේ. ඊට හේතුව නම් ගොවිජනතාව MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීමයි. ඊයේ (24) වනවිට බන්ඩි පොහොර අලෙවි වී තිබෙන්නේසමස්ත ප්‍රමාණයෙන් සියයට 10ක් පමණි.

දැනට බන්ඩි පොහොරවල මිල ඉහළ මට්ටමක පවතින නිසා රජය අලෙවි කරන බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල ගොවි ජනතාවට පහසුවක්වන පරිදි සැළකිය යුතු මුදලකින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ වනවිටත් ඉදිරිපත් කර තිබේ. එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබන සතියේ සාකච්ඡාවට ඉදිරිපත් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද මෙවර මහ කන්නයේ වගා කර ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 780,000කි. මෙම ගොයම් කහ පැහැ ගැන්වීමේ රෝග තත්ත්වයන්වාර්තාවන්නේ සියයට 10ක පමණ ප්‍රමාණයකි. ඇතැම් ප්‍රදේශවල නෙමටෝඩා රෝග තත්ත්වය දක්නට ලැබෙන්නේ සියයට 02ක් පමණ ප්‍රමාණයකි. එමෙන්මඇතැම් දිස්ත්‍රික්කවල කුඹුරුවල තත්ත්වය ඉතාමත් හොඳ මට්ටමක ද පවතින බව තහවුරු වු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වුවද මෙම රෝග තත්ත්වය මර්දනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරින් කැප වී කටයුතු කරන බව මෙම අවස්ථාවටසහභාගි වූ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක යන මහත්වරුඇතුලු පිරිසක් සහභාගි විය.