නීතියට ඉහළින් කිසිම පුද්ගලයකු අවශ්‍ය නොවන බවත් ජනාධිපතිවරයාගේ සිට පහළට සියලු දෙනා නීතියට යටත් විය යුතු බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද පාර්ලිමේන්තුවේදී (10) අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීමට මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. මේ රටේ හිටපු කීර්තිමත් විනිශ්චයකාරවරයෙක් වු විනිසුරු වීරමන්ත්‍රි මහතා එක් නඩු තීන්දුවක මිහිදු මහ රහතන් වහන්සේ දේශනා කළ දේශනාවක් පෙන්වා දෙමින් සදහන් කර තිබෙනවා, රජෙක් වේවා ජනාධිපතිවරයෙක් වේවා අධිකාරිබලය ඔහු පවත්වා ගත යුත්තේ ජනතාවගේ භාරකාරකරුවා මිස අයිතිකාරයා නොවේ යන්නයි. අපේ ජනාධිපතිතුමාගේ සිට පහළට අපි කියන්නේ ජනතාවට නොමැති තඹ දොයිතුවක දෙයක් අපිට එපා යන්නයි. හැම දෙනාම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි .මේවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා. අපේ ප්‍රතිපත්ති එක්ක මේවා ගැට ගැහිලා තියෙනවා. අපි භාරකරුවෝ පමණයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 36 වන වගන්තියේ ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් ගැන සඳහන් වෙනවා.
මහ ජනතාවගේ බදු මුදලින් මේ කරන විනාශය නතර කරන්න කියලා අපිට ජනතාව බලය දුන්නා. අපි කියපු දේවල් කරන ආණ්ඩුවක්. මම කිසිම ජනාධිපතිවරයෙක්ට අපහාස කරන්නේ නැහැ. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමාන විය යුතුයි . එහෙත් මේ පනත තුලින් හිටපු ජනාධිපතිවරුන් නීතියෙන් විශේෂිත අය බවට පත් කරලා. එය මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ මුලික හරයටත් පටහැනියි. මේ පනත තිබුණොත් අවභාවිතාව නවත්වන්න බැහැ. දැන් සමහර අය කියන්න පුළුවන් යුද්ධය දිනපු කෙනා එයාට ආරක්ෂාව නැහැ කියලා. ආරක්ෂාව ගැන මේ පනතේ මොකුත් නැහැ. අවශ්‍ය ඕනම වෙලාවක ආරක්ෂාව මදි නම් ඉල්ලන්න පුළුවන්. කෙසේ හෝ වේවා මේ පනත අවභාවිතා වෙන එක වළක්වා ගන්න ඕන.
නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන කොට රටක ආර්ථිකය ශක්තිමත් වෙනවා. අද පාලකයාත් නීතියට යටත්ව අන් අය වගේම කටයුතු කරනවා. නීතියට උඩින් සිටින කිසිවෙක් අපිට අවශ්‍ය නැහැ. ජනාධිපතිවරයාගේ සිට පහළට සියලු දෙනා නීතියට යටත් විය යුතුයි. වෙනත් රටවල්වල විශ්‍රාම වැටුප් ඇතුලු පහසුකම් හිටපු ජනාධිපතිවරුන්ට දෙනවා කියලා සමහර අය කියනවා. රටවල් කිහිපයක එහෙම දෙනවා. ඔවුන්ට එහෙම පහසුකම් ලබා දෙන්නේ ඒ අය විශ්‍රාම ගියත් රටේ ප්‍රගතියට යම් සේවයක් කරන නිසයි. අපේ අය මොකද කරන්නේ. බලය නැති වුනු දවසේ ඉඳලා ආපහු මේක ගන්න කුරුමානම් අල්ල අල්ල ඉන්නවා. මොකක්ද රටට ඒ අය කරන්නේ. මොකක්ද දෙන දායකත්වය. බදු ගෙවන ජනතාවගේ මුදල්වලින් ඒ අය කරන දේවල් සාධාරණ නැහැ. අපිට ජනතාව ඡන්දය දුන්නා .අපි ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වා, මේ වගේ වියදම් අපි කරන්නේ නැහැ කියලා. කාටහරි අපහසුතාවයක් තියෙනවා නම් අපේ ජනාධිපතිතුමාට ලියලා ඉල්ලන්න, එහෙම ඉල්ලුවොත් සාධාරණයක් කරයි. පුතාලට රොකට් යවන්න සල්ලි තියෙනවා. ලක්ෂ පහ හමාරේ සපත්තු දාන්න පුළුවන් නම් ඒ අයට දෙමාපියන්ට සළකන්න බැහැ කියන්න බැහැ. මම කිසිඳු ජනාධිපතිවරයෙකුගේ ප්‍රතිරූපයට හානි කරන්න සුදානම් නැහැ. ඔය කෑ ගහන අයට කියන්නේ කිරි මුට්ටි ටික ලෑස්ති කර ගන්න කියන එකයි. මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළේ ඔබ භාරකාරයා මිස අයිතිකරු නොවන බවයි . ඒක අපි ඇඟට අරන් තිබෙන්නේ. අපි ජනතාවට පොරොන්දු වු පරිදි අපි තීරණය කළා මේ පනත අහෝසි කරලා ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කරන්න. විපක්ෂ නායකතුමාගෙන් ඉල්ලන්නේ හොඳ දෙයක් ගේන කොට උදව් කරන්න . ඒ සඳහා සහාය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.
