Monday, 10 November 2025

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.

Posted On Friday, 03 October 2025 06:08

ලෝක අමද්‍යප දිනය අදට (03) යෙදී තිබේ.

 

ඒ හේතුවෙන් දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සඳහා වූ සියලුම සුරා බදු බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනය කරයි.

මද්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට ශ්‍රී ලාංකිකයක් 50කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මිය යන අතර ඒ අනුව වසරකට ලාංකිකයින් 15000ත් 20000ත් අතර ප්‍රමාණයක් මේ නිසා මරණයට පත්වන බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර මධ්‍යසාර හේතුවෙන් වසරකට ලොව පුරා පුද්ගලයින් මිලියන 03කට ආසන්න සංඛ්‍යාවක් ආකාලයේ මරණයට පත්වන බව අනාවරණ තිබේ.

එමෙන්ම ලොව පුරා සිදුවන වළක්වා ගත හැකි මරණවලින් 10න් 8කටම හේතුවක් වන්නේ බෝ නොවන රෝග (NCD) වන අතර බෝ නොවන රෝග ඇති වීමට බලපාන ප්‍රධාන සාධක 4න් 1ක් ලෙස මද්‍යසාර භාවිතය නිසා බව පෙන්වා දිය හැකියි.

1980–1990 කාලයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ අන්තර්ජාතික මත්පැන් හා මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන කිහිපයක් එක්ව මත්පැන් භාවිතය රෝගයකට සාධකයක් බව පෙන්වා දුන් අතර, ඉන්පසු 1988 දී, WHO විසින් අප්‍රිකා සහ ආසියානු රටවල් කිහිපයක් එක්ව “No Alcohol Campaign Week” නමින් වැඩසටහනක් ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහන කෙරෙහි ලැබුන ජනතාවගේ ප්‍රතිචාරය හේතුවෙන් එය වසරකට එක් දිනක් ලෙස ප්‍රකාශ කිරීමට තීරණය විය.

ඒ අනුව ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමටයි.