Tuesday, 16 April 2024
Editor

Editor

රජයක් නිසි මඟට යොමු කිරීමට මාධ්‍යයට කළ හැකි බලපෑම ඉතා පුළුල් බව ජනාධිපතිතුමා පවසයි.

විවේචන අපේක්ෂා කරන අතර එය රජයේ නිවැරදි ගමනට ශක්තියක් බව පැවසූ ජනාධිපතිතුමා මාධ්‍ය ද සෑමවිටම නිවැරදි දේ සහ සත්‍ය වෙනුවෙන් සිය පෑන හසුරුවනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ අදහස් පළ කළේ පුවත්පත් කතුවරුන්, විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සහ මාධ්‍යවේදීන් සමඟ ඊයේ (16) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී ය.

වත්මන් රජය රාජ්‍ය මාධ්‍ය ආයතන සඳහා ද ස්වාධීන හා නිදහස් පරිසරයක් නිර්මාණය කරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ජනතාව අතරට ආණ්ඩුවේ පණිවිඩ පමණක් රැගෙන යාම මඟින් රාජ්‍ය මාධ්‍ය ඒකපාර්ශ්වික වන අතර සමබර වාර්තාකරණය රාජ්‍ය මාධ්‍යයේ වගකීම යැයි ද එතුමා පැහැදිළි කළේය.

කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමේ රජයේ වැඩපිළිවෙළ පිළිබදව අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ජනතාවාදී එකක් බවට කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි. ඒ වෙනුවෙන් තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කර ඇති කරුණු සහ රජයේ අරමුණු අධ්‍යයනය කරන ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් තමා ඉල්ලන බව ද ජනාධිපතිතුමා පැවසීය.

යහපත් රාජ්‍ය සේවයක් බිහිකිරීමට නම් ඒ පිළිබදව ජනතාව තුළ ඇති අසුබවාදී ආකල්ප ඉවත් කර සුබවාදී ආකල්පයක් ඇති කිරිමට මාධ්‍යයට කළ හැකි බලපැම ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

වත්මන් රජය ජනතාවට දුන් බදු සහන ගැන සඳහන් කළ ජනාධිපතිතුමා රජය බලයට පත්ව ඉතා කෙටි කළත් ඇතුළත සහන රැසක් ලබාදුන්න ද එහි වාසිය තවමත් මහජනතාවට ලැබී නොමැති බව කීය. “බදු සහන නිසා බොහෝ සමාගම්වලට විශාල ලාභයක් හිමිව තිබෙනවා. එහෙත් ඒ සහන ජනතාව අතට පත්වී නැහැ. රජය දුන් සහන යටතේ යකඩ ඇණයේ පවා මිල අඩුවිය යුතුයි” ජනාධිපතිතුමා පැවසිය.

බදු සහන ප්‍රතිලාභ ජනතාවට ලබා නොදෙන මහා පරිමාණ සමාගම් සහ සුළු පරිමාණ ව්‍යපාරිකයන් පිළිබඳ තොරතුරු රටට හෙළිකරන්නැයි ද ජනාධිපතිතුමා මාධ්‍ය වේදින්ගෙන් ඉල්ලීමක් කළේය.

එම්සීසී ගිවිසුම අධ්‍යයනය කිරීමට විද්වත් කමිටුවක් පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා පැවසීය. “හැම පැතිකඩම නිවැරදිව හඳුනාගැනීම එහි අරමුණයි” ස්විස් තානාපති කාර්යාලයට සම්බන්ධ සිද්ධිය ගැන මතු කළ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ ඒ සම්බන්ධයෙන් ස්විස් තානාපති කාර්යාලය කළ මැදිහත්වීම වරදක් ලෙස තමා නොදකින බවයි. තම කාර්ය මණ්ඩල නිලධාරිනියකට හිරිහැර විනැයි වාර්තා වූ විට එය සොයා බැලීම තානාපති කාර්යාලයේ වගකීමක් යැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“මේ චෝදනාවේ කිසිදු සත්‍යතාවයක් නැහැ. මෙතෙක් කළ පරික්ෂන අනුව ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂිවලින් ඒ බව සනාථ වුණා. චෝදනාව මතුවීමත් සමග විදේශ මාධ්‍ය පළ කල ප්‍රවෘත්තිවලින් පැහැදිළි වනුයේ එම සිදුවීම පිටුපස කුමන්ත්‍රණයක් තිබු බව” යැයි ජනාධිපතිතුමා පැවසීය.

“අසත්‍ය චෝදනා නැගීම, කිසිවක් සොයා නොබලා සාවද්‍ය ප්‍රකාශ කිරීම වත්මන් දේශපාලන සංස්කෘතියේ ප්‍රධාන ලක්ෂණයක්. ජනතාව මේ හානිකර චර්යාව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. මම ද උත්සාහ කරන්නේ බොරුව මත පදනම් වන සංස්කෘතිය අවසන් කරන්න” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

ඉදිරි මැතිවරණ පිළිබදව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මැතිවරණය මේ මාර්තු මාසයේ දී පැවැත්වීමෙන් පසු පළාත් පාලන මැතිවරණය ද පැවැත්වීමට අපේක්ෂා කරන බව කීය. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් ලබා ගනිමින් ස්ථාවර රජයක් ගොඩනැංවීමට ජනාධිපතිවරයා ලෙස කැපවීමෙන් කටයුතු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද ජනාධිපතිතුමාගෙන් විමසනු ලැබීය. එවැනි සංශෝධනයක් සමග රජයක් ගෙන යාමේ අසීරුව පසුගිය කාලය තුළ මනාව තහවුරු වු බව පැවසු ජනාධිපතිතුමා දේශපාලනයේ පරිනත නායකයන් විසින් එවන් සංශෝධනයක් කිරීම පිළිබද තමා පුදුමයට පත් වූ බව ද කියා සිටියේය.

අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නය දේශපාලනීකරණය විම හේතුවෙන් ජනතාවට සාධාරණය ඉටු කිරීම ප්‍රමාද වී තිබෙන බව එතුමා කීය. උතුරේ ඇතැම් දේශපාලන කණ්ඩායම් සිය දේශපාලන ශක්තිය ගොඩනගා ගැනීමට මේ ප්‍රශ්නය භාවිතා කරන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“රටේ ජාතික සමඟිය ආරක්ෂා වන්නේ ජාතික ආරක්ෂාව ශක්තිමත් වූ තරමටය. රටේ ආරක්ෂාව ප්‍රමුඛ වන අතර ඊට අවශ්‍ය පරිසරය ස්ථීර වශයෙන්ම ගොඩනඟනවා” ජනාධිපතිතුමා පැවසීය. හමුදාපතිවරුන් හා බුද්ධි අංශ ප්‍රධානීන් පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති අතර, රජයේ ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන් දැනුවත් කර තිබෙන බව ද කියා සිටියේය.

පැවති සෑම රජයක්ම දේශපාලන වාසි උදෙසා බලය බෙදීම පිළිබදව කතා කළේය. සෑම පුරවැසියෙකුටම ගෞරවාන්විතව ජිවත්වීමට අවශ්‍ය නම් ජීවත්වීමට රැකියාවක්, දරුවන්ට අධ්‍යාපනයක් මෙන්ම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් ඔවුනට ලැබිය යුතුය. එබැවින් ජනතාවට අවශ්‍ය වන්නේ බලය බෙදීමට වඩා හොඳ ජීවන තත්ත්වයක් උදාකරදීම බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

හම්බන්තොට වරාය පිළිබද නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා පැවසුවේ තමා දකින්නේ එහි ව්‍යාපාරික පැතිකඩ නොව, ජාතික ආරක්ෂාව පිළිබඳ බවයි. සියලු වරායන් ලංකා රජය යටතේ පැවතිය යුතුය යන්න තම මතය බව ජනාධිපතිතුමා කීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ආහෝසි කිරීම නිසා නිවරුදි තොරතුරු තහවුරු කර ගැනීමේදී මාධ්‍යවේදින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලුව කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධ කර ගනිමින් තම මතය නොව අදාළ විෂය පිළිබඳ සෘජුව ප්‍රකාශ කළ හැකි මාධ්‍ය ප්‍රකාශ කාර්යාලයක් ස්ථාපනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

දෙසැම්බර් මස 17 දින සිට දිවයින පුරා, විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2019 වර්ෂ අවසාන උත්සව සමය නිමිති කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍රලත් මත්පැන් විකිණීමේ ස්ථාන හා මත්පැන් සැපයීමේ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු පමණ යොදවා දැවැන්ත මෙහෙයුමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

බහු කාර්යය සංවර්ධන කාර්යය සාධක බලකායක් පිහිටුවාලීම සඳහා ජාන්ධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දිස්ත්‍රික් පදනමින් භාවිත කරනු ලබන ඉසෙඩ් ස්කෝර් (Z-Score) ක්‍රමවේදය වෙනුවට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදිමට යන බවත්, එය 2020 වසරේ උ.පෙළ විභාගය සමත් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවත්, මේ පිළිබඳව තමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වු බවද අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවැසිය. මේ අනුව නව ක්‍රමවේදය සකස් කිරිම අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවිණයන්ගෙන් යුත් විශේෂඥ පත් කිරිමට යන බවද සඳහන් කළේය.

සියලු මැතිවරණවල දී අනවශ්‍ය ලෙස අපේක්ෂකයන් ඉදිරිපත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසම සාකච්ඡා කරමින් සිටින අතර පාර්ලිමේන්තුව විසින් ඊට අදාළ නීති සකස් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

රාජ්‍ය අමාත්‍යාංශ සදහා පත් කෙරුණු නව ලේකම්වරුන් තිස් දෙදෙනෙකු ඊයේ (09) ජනාධිපති කාර්යාලයේ දී සියපත්වීම් ලිපි ලබාගත්තේය. එහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී  ඇත්තේ ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවන ලෙසයි.

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ශ්‍රිපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වන බැවින් වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන්  ක්‍රමවත් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවාවක් සැපයීම සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (පරිපාලන) ජයන්ත කුමාර මහතා පැවසීය.

ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 11 වන උඳුවප් පොහෝ දිනයෙන් ඇරඹේ.