Thursday, 16 July 2020 09:03

වැදගත් වන්නේ PCR පරීක්ෂණ වල ඉලක්කම් ගණන නොව අවශ්‍යතාවය මත පරීක්ෂණ කිරීමයි

 

කොරෝනා වෛරසය පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොමැති බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එසේම රට වසා දැමීමේ කිසිඳු අවශ්‍යතායක් ද මේ මොහොත වනවිට නොමැති බව ද අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේ පැවැති සාකච්ඡුාවකට සහභාගීවෙමින්. 

මේ අතර මේවනවිට මෙරට තුළ PCR පරීක්ෂණ 130,000 ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. 

අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාධ්‍ය ප‍්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේදී අද උදෑසන පැවැති හමුවට සහභාගීවෙමින් ඔහු කියා සිටියේ වර්තමානයේ රටතුළ පවතින්නේ පෙර පැවැති තත්ත්වයේම කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ දිගුවක් බවයි. 

කන්දකාඩු ප‍්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිත පොකුර මෙම තත්ත්වයට හේතුවූ බව ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළා.

දෛනිකව සමාජය තුළ අහඹු ලෙස PCR පරීක්ෂණ 5000 ක් පමණ සිදුකිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බවට ඉදිරිපත් වන යෝජනාවලට ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

 ඔහු කියා සිටියේ මේ මොහොතේදී වැදගත් වන්නේ සිදුකරන PCR පරීක්ෂණවල ඉලක්කම් ගණන නොව අවශ්‍යතාව සඳහා පරීක්ෂණ සිදුකිරීම පමණක් බවයි. 

එසේම රටේ විවිධ ප‍්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමුවන බවට පැතිර යන රාවයන් ද ප‍්‍රතික්ෂේප කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ වැඩිදුරටත් පැවසුවේ.