Saturday, 18 July 2020 07:32

මැතිවරණය අවසන් වන තෙක් පාසල් වසා තබන්නැයි සෞඛ්‍ය අංශ කියයි

 

අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තැබිය යුතු බවට, පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලබාදී ඇති සෞඛ්‍ය නිර්දේශවල ඇතුළත් බව වාර්තා වනවා. 

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබාදී ඇති අදාළ සෞඛ්‍ය නිර්දේශ සම්බන්ධයෙන් සාකච්ඡා කර පාසල් යළි විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව ඔහු  සඳහන් කළේ. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය මෙතෙක් කටයුතු කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අනුව පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මේ අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෙවන වරටත් වසා දැමුණු පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන තීරණය අද ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතයි. 

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරින් පිරිසක් අතර අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඒ පිළිබඳ ප‍්‍රකාශයට පත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ. 

එසේම උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුවීමට නියමිත බව වාර්තා වනවා. 

මේ අතර එළඹෙන මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අගෝස්තු 05 වනදා තෙක් පාසල් වසා තැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප‍්‍රචාර සම්බන්ධයෙන් ද නෙත් නිවුස් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගෙන් විමසීමක් කළා. 

අමාත්‍යවරයා එහිදී කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කරන නිල ප‍්‍රකාශ සහ නිවේදන පිළිබඳ පමණක් අවධානය යොමු කරන ලෙසයි.