Saturday, 18 July 2020 07:43

ඊයේ දිනය තුල පමණක් මෙරට PCR පරීක්ෂණ 2723ක් - කන්දකාඩු සෞඛ්‍ය අංශ පාලනය යටතට

ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 2723 ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පවසනවා. ඉකුත් පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ මෙරටදී සිදුකළ වැඩිම දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව ද එයයි. 

ඒ අනුව මේවනවිට මෙරටදී සිදුකර ඇති සමස්ථ PCR පරීක්ෂණ සංඛ්‍යාව එක්ලක්ෂ 35,519 ක් බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.

අනුරාධපුර රාජාංගනය ප‍්‍රදේශයේ හුදෙකලා කර ඇති ගම්මානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ගේ දෙවන වටයේ PCR පරීක්ෂණ ද අද ආරම්භ කළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළා.  

මේ අතර කන්දකාඩු පුනරුත්තාපන කඳවුරෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත පොකුරෙන් මේවනවිට ආසාදිතයින් 550 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා.  

ඉන් ආසාදිතයින් 444 දෙනෙකු එම කඳවුරේ රැඳවියන් වන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් 64 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ‍්‍රිතයින් 42 දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස මේවනවිට තහවුරු වී තිබෙනවා. 

මේ අතර ති‍්‍රවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 104 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද සිය නිවෙස් වෙත පිටවයාමට නියමිතයි. 

ඒ අනුව මේවනවිට නිරෝධායන කි‍්‍රයාවලිය සාර්ථකව අවසන් කර නිවෙස් බලා පිටවගොස් ඇති පිරිස 23,286 දෙනෙකු බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. 

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ද 901 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. 
ඒ, වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමගයි. 

ඒ අනුව නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 05 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් හඳුනා ගැනුණු සමස්ථ නාවික හමුදා සාමාජිකයින් ගණන 906 දෙනෙක්.