Saturday, 18 July 2020 08:29

මැතිවරණය වෙනුවෙන් තමන්ගේ ජායාරූප යොදා නොගන්නැයි කාදිනල්තුමා ඉල්ලීමක් කරයි

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ඇතැම් අපේ්ක්ෂකයින්, මැතිවරණ ප‍්‍රචාරක දැන්වීම් සහ පති‍්‍රකා සඳහා තමන් හමුවීමට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූප භාවිත කරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කාදිනල්තුමන් පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කාදිනල්තුමන් පෙන්වාදෙන්නේ ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිය අවසරය හෝ කැමැත්තකින් තොරව බවයි. තමන් හෝ අගරදගුරු පදවිය කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන කණ්ඩායමක් සමග පක්ෂ දේශපාලනයේ නොයෙදෙන බවයි කාදිනල් හිමිපාණන් සඳහන් කළේ. 

සිය හෘද සාක්ෂියට අනුව කැමති අපේක්ෂකයෙකුට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීමට සෑම පුරවැසියෙකු සතු ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිය කිසිවෙකුට අහිමි කළ නොහැකි බව ද කොළඹ අගරදගුරුවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.