Friday, 24 July 2020 06:05

කිතුල් කර්මාන්තයට පොලිසියෙන් අවසර

 

කිතුල් ගස් මදින හෝ කිතුල් ගසකින් රා නිස්සාරණය කරන පුද්ගලයින්ට එරෙහිව මින් ඉදිරියට නඩු පැවරීමක් සිදු නොකරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ 2018 අංක 04 දරන සුරාබදු සංශෝධන පනත මගින්, කිතුල් ගස්වල රා මැදීම හා රා නිස්සාරණය කිරීම බලපත‍්‍ර රහිතව සිදු කළ හැකි බව සඳහන් කර ඇති බවයි.

නමුත් ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් බලපත‍්‍ර නොමැතිව කිතුල් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දිගින් - දිගටම නඩු පවරන බවට තොරතුරු ලැබීම හේතුවෙන්, මෙලෙස ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන දැනුවත් කිරීමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

කිතුල් කර්මාන්තය යළි පණ ගැන්වීමට පසුබිම සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඊයේ (23) ප‍්‍රකාශ කළා. ඒ, ඊයේ දිනයේ ගාල්ල දිස්ති‍්‍රක්කයේ පැවති ජන හමුවකදීයි.