Tuesday, 19 March 2024
අපි රටේ අනාගතය ගැන සිතන අය වෙමු. අඩු තරමින් අවුරුදු විස්සක් ඉදිරියක් ගැන සිතමු. අර්බුද වලින් මිදී සෞභාග්‍යමත් සමාජයක් ඉදිරි අවුරුදු විස්ස තුලදී නිර්මාණය කරන්න පුළුවන් යන්න අපගේ විශ්වාසයයි. මේ රට මුහුණ පා ඇති හැම ප්‍රශ්නයක්ම, දේශපාලන අගමික සංස්කෘතික, ආර්ථික යන කරුණු ඇතුළත්ව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු. ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

අපේ දර්ශණය

යම් කිසි ප්‍රතිවිත්තියක, පිළිවෙතක, ක්‍රියාවක, අදහසක ඇත්ත නැත්ත සොයා ගත යුත්තේ කෙසේදැයි මීට අවුරුදු 2500 කට පෙර බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්හ. යට කී කරුණු පිළිබඳව තමන් තුළ යම් කිසි සැකයක් මතු වුවහොත් මධ්‍යස්ථව එහි ඇත්ත නැත්ත ගැන ප්‍රශ්න කොට තමන් සෑහිමකට පත්වන උත්තරයක් ලබා ගන්නා ලෙස උන්වහන්සේ අපට අවවාද කළහ.

ප්‍රගතියේ මඟ එය බව උන්වහන්සේ වදාළහ. උන්වහන්සේ අපට දුන් අනිත් පාඩම නම් සෑම දෙයක් තුළම වෙනස් වන ස්වභාවයක් ඇති බවය. අපි ජීවත්වන්නේ වෙනස් වන ලෝකයක ය. සමාජයක ය. මෙම ස්වභාවය පිළිබඳව අපි අවබෝධයෙන් සිටින්නේ නම් අපේ යහපත සැලසෙන මඟ සොයා ගැනීමට අපට පුළුවන. ඒ සඳහා අපි කළ යුත්තේ විමසිලි වන්තව කරුණු සොයා බැලීමය. යහපත් සමාජයක් සොයා ගන්න විමසිලි වන්ත විය යුතුය. අපේ දර්ශනයේ හරය වන්නේ ඒ අවස්ථාව සෑම කෙනෙකුටම ලබා දීමය.

යහපත් ඉදිරි ගමනකට අපේ මෙහෙවර

දර්ශණයක් අවශ්‍ය වනවා සේම ඒ දර්ශණය යථාර්තයක් බවට පත් කිරීම සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන්නේය. අපේ මෙහෙවර ඒ මඟ, ඒ දර්ශනය සමාජය අතරට ගෙන යාමය. ඒ මගින් එකිනෙකා හඳුනා ගැනීමට හැකි වනවා පමණක් නොව මෙවැනි හඳුනාගැනීමක් නිසා යම් කිසි පොදු විශ්වාසයක්, මිත්‍රත්වයක් ද ඒ අය අතර ඇති වේ. මේ කියවන ඔබද එහි කොටස්කරුවෙකු වන්න කැමතිද? වෙනස් වන ලෝකයක, සමාජයක කොටස්කරුවන් වන අපි ඒ වෙනස් වීම් හඳුනා ගෙන ඊට නිසි ප්‍රතිචාර දැක්විය යුතුය. වෙනස් වීම් සමඟ යෝග්‍ය පරිදි වෙනස් වී ඉදිරියට ගමන් කළ යුතුය. අපේ මෙහෙවර වන්නේ ඔබට මේ කටයුත්තට සහභාගි වී යහපත් අනාගතයක් ගොඩ නැගීමට අවස්ථාවක් සළසා දීමය.

මේ අපි ජීවත්වන ලාංකික සමාජය නොයෙකුත් අර්බුද වලට මුහුණ පා සිටින මොහොතකි. අපි මුහුණ දී තිබෙන ඒ අර්බුද මොනවාද? ඉන් මිදීමට අපි ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද? යන මේ ප්‍රශ්න විග්‍රහකොට පිළියම් සෙවීමට රටේ පුරවැසියන්ටත් අවස්ථාවක් ලබා දීම අපේ මෙහෙවර බව කිව යුතුය.