Wednesday, 22 November 2017
ආගමික

ආගමික

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

Posted On Sunday, 01 January 2017 07:37

රටපුරා පිහිටි කතෝලික දේවස්ථානවලදී දෙසැම්බර් 24 දින මධ්‍යම රාත්‍රී 12ට හා දෙසැම්බර් 25වන දින උදෑසන සිය ආගමික වතාවත්වල යෙදීම සිදු කරයි.

ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත යනු ලෝ වාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලැබේ.

Posted On Saturday, 31 December 2016 16:07

කලට නිසි වැසි වාසීවායී ප්‍රාර්ථනා කරමින් විශේෂ පිරිත් සජ්ඣායනයක් පසුගියදා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස දී පැවැත්වීය.
අටමස්ථානාධිපති ආචාර්ය අති ගෞරවාර්හ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙනි.  ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී , ගෞරවාර්හ පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කළහ.
 

Posted On Saturday, 31 December 2016 16:03

පොලොන්නරුව පූජා නගරයේ පස් අවුරුදු ගවේශණ ව්‍යාපෘතියේ දෙවන අදියරේ කැනීම් අනුව පොලොන්නරුවේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව හතරවන සියවස දක්වා වෙනස්වන බවත් අනුරාධපුර රාජධානියේ ආරම්භක අවධිය දක්වා ම එම ඉතිහාස කතාව දිවෙන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි ‍රැසක් හමුවූ බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පවසයි.

Posted On Saturday, 31 December 2016 15:51

මෙරට පහළ වූ ශ්‍රේෂ්ඨ ජන නායකයින් අතුරින් අද්විතීය ස්ථානක් හිමිවන ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ 120 වෙනි ජන්ම සංවත්සරය පවත්වන මේ අවස්ථාවේදී එතුමාගේ ගුණ මහිමය විස්තර කරමින් මෙවැනි සැමරුම් ලිපියක් ලිවීමට අවස්ථාව ලැබීම මා ලත් භාග්‍යයක් ලෙස සලකන අතර, මේ අවස්ථාව මට ලබාදීම මාවෙත පිරි නමන ලද උපහාරයක් ලෙස මම සලකමි.

Posted On Saturday, 31 December 2016 07:49

බෞද්ධයෙකුට තම ජීවිත කාලය තුළදී කරගත හැකි මහා කුසලයන් අටකි. ඒවා “අට මහ කුසල්” නම්වේ.

[1]. කඨින චීවර පූජාව [2]. අටපිරිකර පූජාව [3]. සංඝාවාස පූජාව [4]. සඟසතු කොට දන් පිදීම [5]. දහම් පොත් ලිවිම [6]. කෙත්වතු පූජාව [7]. බුද්ධ ප‍්‍රතිමා ඉදිකිරීම [8]. වැසිකිළි සකසා පූජාකිරීම

ඉන් පළමු තැන ගන්නා කඨින චිවර පූජාවේ වැදගත් කම ගැන සිංහල බෞද්ධයා අඩවියේ පෙර ලිපියකින් සඳහන් කළෙමි.

කඨින චීවර පූජාවේ වැදගත්ම සංස්කෘතික අංගයක් වන “කඨින පෙරහර” යනු කාලාන්තරයක් තිස්සේ සිංහල බෞද්ධ ජන සමාජය තුළ ප්‍රචලිත ව පවතින්නකි. එහි මුඛ්‍ය පරමාර්ථය වූයේ, කඨින චීවරය පූජා කිරීමට පෙර ගම වටා වඩම්මවා ගමේ සියලුම දෙනාට අත ගස්සවා සෑම දෙනාටම කුසල් සම්පාදනය කරගැනීමට අවස්තාව සළසා දිමය.

අතීතයේදී කඨින පෙරහර යනු සිතේ පැහැදීමක් ඇති කරමින් බුද්ධාලම්භණ ප්‍රීතියෙන් ඔකඳ කරවන මනහර දසුනකි. ඈතින් විහාරස්ථානයේ පිරිත් දේශනාව ළාවට ඇසෙද්දී, ළඟ ළඟ එන පෙරහරේ හේවිසි – බෙර නාදය ඇසෙත්ම කඩිනමින් මහපාරට ගොස් දොහොත් මුදුන් දී කඨින චීවරයට වන්දනා කරන අපේ අත් අම්මාගේ පස්වනක් පිනා ගිය මුහුණෙන් දිස් වූනේ ඇගේ සියලුම වාත අමාරු සුවවූවාක් වැන්නකි. හේවිසි නාදයේ තාලයටම වාගේ ඇසෙන ගමේ ඇත්තන්ගේ සාදු නාදයෙන් ගුවන් තලය ගිගුම් දෙද්දී කඨින චීවරය පූජා කිරීමේ අවස්තාව දකින එදා කුඩා වුන් වූ අපටත් බුදු සසුන ගැන ඇතිවූයේ පුදුමාකාර ශ්‍රද්ධාවකි.

එහෙත් කණගා‍ටුවට කරුණනම්, වර්තමානයේදී සුළුතරයක් කඨින පෙරහරවල් වලින් ඒ ඓතිහාසික ප්‍රෞධත්වය ගිලිහී ගොස් විකාර පෙරහරක් වී, එදා අප ලද ශ්‍රද්ධාව වෙනුවට අද කළකිරීමක් සහ සමහරුන්ට කෝපයක් පවා දනවන්නක් බවට පත් වී තිබීමයි.

…කඨින පෙරහරට වී ඇති ඇබැද්දිය…

අදකාලයේ සුළුතරයක් කඨින පෙරහරවල් වල තත්ත්වය විදහාපාන ලිපියක් මීට වසර කිහිපයකට පෙර බ්ලොග් කතුවරයෙක් මෙලෙස සටහන් කර තිබුනි.

[[උදේ හතරහමාරට විතර පාරේ ලොකු ගෝසාවක් ඇහිල ඇහැරුනා. බැලින්නං කඨින පෙරහරක්. අපේ ගෙදර වටේට පන්සල් 4ක් තියෙන නිසා මොන පංසලේද කියන්න නම් දන්නෙ නෑ. මම මේ කියන්න යන්නෙ වෙනත් කතාවක්. පාරට බැහැල බැලුවෙ නැතත් මම ඇඳේ ඉඳගෙනම හොඳට පෙරහර අහගෙනයි හිටියෙ. මුලි හරියෙ නම් වෘත්තීය හේවිසිකරුවන්ගේ වාදනය සමග කඨින චීවරය ගෙන ගියා. මොකද මිනිස්සු සාදුකාර දුන්නා ඇහුන නිසා එහෙම වෙන්නැති. ඒ හොඳ හරිය. ඊට පස්සෙ තමයි ප්‍රේතයන්ගේ පෙරහර ගියේ. ආයෙ දෙකක් නෑ දහම් පාසලේ කොල්ලො ටික වෙන්න ඇති. ට්‍රිප් ගෙනියන ජාතියේ ඩ්‍රම් කීපයකට තලමින් නලා වගයක් පිඹිමින් කෑකෝ ගසමින් උන් ටික ගමන් කලේ බේබද්දන් රැලක් වගේ. උංගෙ සද්දෙ කොච්චරද කියනවනම් අහලගම් හතක මිනිස්සු ඇහැරෙන්න ඇති. මේ සද්දේ ඇහුනාම මට ඇතිවුනේ මහත් කෝපයක්. අපි උදේ පාන්දර ඇහැරිලා මෙවැනි විගඩම් වලට සවන් දිය යුතුද? අපේ නින්දට බාධා කරලා මෙවැනි තුච්ඡ ආතල් එකක් ගන්න උන් අවසර ලබා ගන්නේ ආගමේ නාමයෙන්ද? රතිඤ්ඤා පත්තු කරමින් ආ පිරිසක් අපේ ගේට්ටුව ඉස්සරහම රතිඤ්ඤාවක් පත්තු කලේ පෙරහර බලන්න අපේ ගෙදරින් කවුරුවත් එලියට නොබැස්ස නිසා වෙන්න ඇති. මට තේරුණ විදියට උන් රතිඤ්ඤා පත්තු කලේ එහෙම තැන්වල තමා. මොකද ඉඳහිට තමා රතිඤ්ඤා සද්දෙ ඇහුනේ. ඒහා ගෙදර සිටින මාස හය හතක් වන අතදරුවා ඇහැරී අඬන සද්දේ ඇහුනා ඉන්පස් පැයක් පමණ. ඒ ගෙදර අයට ඒක කොච්චර කරදරයක් වෙන්න ඇතිද? අතදරුවෙක් නින්දෙන් ඇහැරිලා, විශේෂයෙන්ම බයවෙලා, අඬන්න ගත්තාම නලවගන්න කොච්චර අමාරුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ. මට හැමදෙනාගෙන්ම අහන්න තියෙන්නේ එක ප්‍රශ්නයයි. ඒ තමයි මිනිස්සුන්ට වෛර සිතුවිලි ඇති කරමින්, තරහ ගස්සවමින්, සිදුකරන පෙරහරකින් පලක් තියේද? කියලයි. මේ කියන්නේ කඨින පෙරහර තියන්න එපා කියල නෙමෙයි. මම කියන්නේ පෙරහර තුල තියෙන වෙනත් විගඩම් නවත්වන්න කියලයි. ශබ්ද පූජා තියන්න අවශ්‍ය නෑ නේ මහපාරේ. අනික කෑකෝ ගහන එක ශබ්ද පූජාවක් නෙමෙයිනේ. කඨින පෙරහරට එකත් වෙලා කොල්ලො කුරුට්ටො ආතල් ගන්න එක නැවැත්තුවොත් පෙරහර සංවිධානය කරන අයටත් මීට වඩා පිං ලැබෙයි.]]

ඉහත ලිපියේ සඳහන් වන කඨින පෙරහර පැවැත්වීමේදී ඇසෙන හේවිසි – බෙර නාදය ශබ්ද පූජාවක් නොවන බවත් පැවසිය යුතුය. රාත්‍රී කාලයේදී පෙරහර ග්‍රාම සංචාරය කිරීමට හේතු වූයේ කොස්‌ කොළයේ හෝ අඹ කොළයේ නැට්‌ට පෙනෙන තරමට යන්තම් හිරු උදාවෙන අවස්ථාවේදී කඨින චීවරය පූජා කිරීමේ නිශ්චිත වේලාව ලෙස පුරාතනයේ පටන් ම සැලකුණ බැවින් ය. ඉතින් රාත්‍රි කාලයේ නිදා සිටින ගැමියන්ට කඨින පෙරහර එන බව සංඥා කිරීමටත්, රාත්‍රී කාලයේ මග දෙපස සිටින වන සතුන්ගෙන් බේරීම සඳහාත්, අතීත පෙරහර සම්ප්‍රදායට බුදුසසුන අනුගත කිරීමක් ලෙසත් කඨින පෙරහරට තූර්ය වාදන ආදිය අතීත සිංහලයෝ එක් කර තිබේ.

එහෙත් වර්තමානයේදී බොහෝ කඨින පෙරහරවල්, අලි කොටි වලස් ආදී වන මෘගයින්ගෙන් බාධා ඇති නොවන ප්‍රදේශ වල ගමන් ගන්නා බැවින් වන සතුන් පලවා හැරීමේ තරම් ඝෝෂාවක් නැගීම අවශ්‍ය නැත. සම්ප්‍රදායට ගරු කිරීමක් ලෙසත්, පෙරහර බලාපොරොත්තුවෙන් නිදි වර්ජිතව සිටින උවැසු උවැසියන්ට පමණක් දෙන සංඥාවක් ලෙසත්, නිදා සිටින්නන්ගේ නිදි නොකැඩෙන ලෙසට මද පම්ණින් තූර්ය වාදනයන් කිරීමට වග බලා ගත යුතුය. මෙවැනි ආකාරයට අන් අයට හිංසාවක් නොවන පරිදි ගමන් ගන්නා පෙරහරවල් ගණනාවක්ම මම දැක ඇත්තෙමි.

රතිඤ්ඤා පත්තු කරන්නේ ශබ්ද පූජාවක් යැයි සිතානම් ඒක මහා භයානක තත්ත්වයකි, මේ අනුවණ මිනිසුන්ගේ අනාගත පරම්පරාවන්, ශ්‍රී දළද වහන්සේ ඉදිරිපිටත් ශබ්ද පූජාවක් යැයි කියමින් රතිඤ්ඤා පත්තු කරාවි. එහෙත් රතිඤ්ඤා පත්තු කරන්නේ වස් දොස් යාමට හෝ යකුන් භූතයන් පළවා හැරීමට යැයි සිතනවානම්, මොවුන්ගේ අනාගතයෝ රතන සූත්‍රයෙන් වෙන දේ රතිඤ්ඤා කරල් කිහිපයකින් කරගැනීමට උත්සාහ ගනීවි. එනිසා මේ අනුවණයන්ට සත්‍යය පහදා දී වෙන්න යන විනාශයෙන් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතිය බේරාගත යුතුය.

…සමහර කඨින පෙරහර පරිහානියට පත් වුනේ ඇයි…

[1] බටහිර සංස්කෘතිය ගැන අවබෝධයකින් තොරව අනුකරණය කිරීම.
අධි පරිහෝජනවාදී ආර්ථිකයක බොහෝ විට හුදකලාවී දිවි ගෙවන බටහිරයන් ලද විවේකයෙන් තම ඒකාකාරී ‍රැකියා දිවිය වෙනස් කරගැනීම සඳහා රොක් සංගීත සංදර්ශන ආදි මහා ඝෝෂා සිදු කරමින් ජීවන රිද්මය යම් පමණකට වෙනස් කරගෙන විශාදය වැනි මානසික රෝගයන්ට ගොදුරු වීමෙන් වළකියි. අපට එවැනි අවශ්‍යතාවයක් නැතත්, බටහිරයින්ගේ සියල්ලම හිස් මුදුනෙන් පිළිගන්නා අපේ සමහරක් උදවිය එම ඝෝෂාකාරී ආකල්පය අපගේ සංස්කෘතික උත්සව වලටත් එක් කරගැනීම කණගා‍ටුවට කරුණකි.

[2] බොරු සෝබනය සහ මහන්තත්තකම.
ශ්‍රද්ධාව වෙනුවට බොරු සෝබනය පෙන්වමින් තමන්ගේ මහන්තත්තකම අන් අයට පෙන්වීම උදෙසාත් සමහරුන් බෞද්ධ සංස්කෘතික උත්සව යොදා ගනී. පන්සලේ පින් කමකට ආධාර කරන සමහරුන් තමන්ගේ නම කොයි වෙලාවේ ඇසේදෝයි ශබ්ද විකාශනය දෙසට කන් අයාගෙන සිටී. ඔය ආකාරයටම අල්ලපු පන්සලට වඩා හයියෙන් මේ පන්සලේ කඨින පෙරහැරේ කටයුතු කිරීමට සමහර අනුවණයන් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ අද කාලයේ සමහරුන් පින් කම් මුවාවෙන් කරන්නේ කෙළෙස් ප්‍රහීණ කිරීමක් නොව කෙළෙස් වැඩීමක් බවයි.

[3] පෙරහර සංවිධායකයින්ට බුදු දහම යනු කුමක්දැයි අවබෝධයක් නැති කම.
සිංහල බෞද්ධ සංස්කෘතිය යනු බුදු දහම පවත්වාගෙන යාමට ඇති සමාජ පද්ධතියයි. ඒ සංස්කෘතිය සෑම විටම බුදු දහමේ ඉගැන්වීම් උල්ලංඝනය නොවන්නක් විය යුතුයි. ඒත් මූලික බුදු දහම ගැන කිසිදු අවබෝධයක් නොමැති පෙරහර සංවිධායකයින් වඩාත් ඉහලයැයි තමන් සිතාගෙන සිටින ආකාරයට පෙරහර කිරීමට යාම භයානක තත්ත්වයකි. මෙවන් කටයුතු සංවිධානය කිරීම සඳහා බුදු දහම තම ජීවිතයට එක් කරගත් මනා සංයමයකින් යුතු උපාසකයන්ව විතරක් සම්බන්ධ කරගැනීමට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා හැමවිටම උත්සාහ කළ යුතු බව සිහිපත් කරමි.

…සමහර කඨින පෙරහර වල පිරිහීමට අන්‍යාගමිකයින් උපහාස කිරීමට පෙර…

සිංහල බෞද්ධයා අඩවියේ ලිපි වලට, අප නොබලන කෝණයක සිට බලමින් සාධනීය කරුණු හෝ විවේචනාත්මක සහයෝගයන් එක් කරමින් ඒවා අලංකෘත කරන අන්‍යාගමික මිතුරන් කිහිප දෙනෙකුත් සිටී. මෙමගින් ඔවුන්ගේ සිත් රිදවීමට අපේක්ෂා නොකරමි. ඒත් මෙය ලියන්නේ බෞද්ධයින්ගේ සුළු සුළු අඩුපාඩු සෙවීමට දිවා රෑ වෙහෙසෙන උදවිය වෙතටයි, ලිපිය කියවාගෙන යද්දී ඔවුන් අමන්දානන්දයට පත් වී ඇත්නම් මේ ටිකත් දැනගන්න.

වසරකට වතාවක් පමණක් කඨින පෙරහරක් පවත්වද්දී , ඒ පෙරහරත් විනාඩි පහකටත් අඩු කාලයදී ගෙදර පහුකරගෙන යද්දී , වර්තමානයේ පිරිහී ඇති සුළුතරයක් පෙරහර වලින් වන ශබ්ද දුෂණයට වඩා දහස් වරක් ශබ්ද දුෂණයක් සමහර ආගම් අදහන්නන් දිනකට කිහිප වරක් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් සිදු කරන ඝෝෂාවන්ගෙන් සිදු වන බව සියල්ලෝම දනී. ඊට අමතරව නූගත් මිනිසුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදී ඒවා දෙවියා ලවා සුව කිරීමට යන සමහර ආගම් මගින් මනුෂ්‍ය ඝාතනත් සිදු කරද්දී කඨින පෙරහරේ විනාඩි කිහිපයක ඝෝෂාව නොසැළකිය යුත්තක් සේ ද සිතිය හැකිය. තවත් ආගමකත්, ඒ ආගම මගින්ම අනුමත කරන ලද පෙරහර තිබෙන අතර ඒවායේ ඝෝෂාවනම් කියා නිම කළ නොහැකි තරම් දරුණු මෙන්ම ඒවායේ කොකු වල මස් කඩේ කුකුළන් මෙන් එල්ලී සිටින පුද්ගලයන්ව දැකීමම කුඩා දරුවන්ව ස්වපීඩාකාමුකත්වය මෙන්ම පරපීඩාකාමුකත්වය වෙත ඇද දමන්නක් බවත් කිව යුතුය. මේ සුළු කරුණු ටික පැවසුවේත් ඔය ආගම් වලට අපහාස කිරීමට නොව (ඒ ආගම් වල නම් සඳහන් කළේ නැත්තේ එනිසායි) යමෙක් ඕනෑම දෙයක් මනින්නේ සාපේක්ෂ වශයෙන් නිසා ඒ සාපේක්ෂ බව පෙන්වීමට මිණුම් දණ්ඩක්ද අවශ්‍ය බැවිනි.

කඨින පෙරහර යනු සිංහල බෞද්ධ සංස්කෘතික අංගයකි. පෙරහර පසුපස කෑ ගසමින් හූ තියමින් කුණුහරුප කියමින් දරුවන් යනවානම් ඒවා පන්සලේ වැරදි නොව දරුවන්ව දාඩාවතේ යන ලෙසට හදා දරුවන්ට හොඳ නරක ගැන අවබෝධයක් ලබා නොදුන් දෙමාපියන්ගේ වැරදි ය. එනිසා සමහර කඨින පෙරහර සිදුකිරීමේදී අන් අයට හිරිහැර සිදු වුවද ඒවා බුදු දහමේ අඩුපාඩු නොව බුදු දහම ගැන අවබෝධයක් නැති උදවියගේ අඩුපාඩුය. එබැවින් බෞද්ධ අපිට අවශ්‍ය වන්නේ අපගේ සුළු අඩුපාඩුව පවා හදා ගැනීමටයි. මෙය ඒ සඳහා සුළු උත්සාහයකි.

…කඨින පෙරහර ‍රැක ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද?…

මූලික වශයෙන්ම කළ යුත්තේ බෞද්ධයින් වෙත නිවැරදි බුදු දහම ගෙන යාමයි. ඒ සඳහා හැකි තරම් ත්‍රිපිටකය සහ ත්‍රිපිටකය ගැන ලියවුන පිළිගත් පොත් පත් ජනතාව අතරට ගෙන යා යුතුය. මේ සඳහා ශාසන හිතකාමී ගිහි පින්වතුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය වේ. නිවසේ, අන්තර්ජාලයේ, පාසලේ, කාර්යාලයේ ආදී ලෙස සෑම තැනදීම හමු වන බෞද්ධයින්ට නිවැරදි බුදු දහම ගැන අවබෝධයක් ලබා දීමට අප සැවොම උත්සාහ ගත යුතුය.

මල් වට්ටියේ ඇති මල් ගණනට පින් සිදුවෙනවා යැයි කියන කතන්දර වල සිට අනේකවිධ මිසදි‍ටු ඉගැන්වීම් වලින් ඈත් වී බුදු දහම මෙයයි, බුදු දහම මත පදනම් වූ බෞද්ධ සංස්කෘතිය මෙයයි ආදී වශයෙන් බෞද්ධ ජීවන මාර්ගය ගැන වටහාදීමත් කළ යුතුය. ඒ සඳහා ගමේ විහාරස්ථාන මූලික කරගෙන තරුණ භික්ෂූන් වහන්සේලා පෙළ ගැසී සිටීම පැසසිය යුත්තකි.

බුදුසසුන ‍රැකෙන්නේ ධර්ම පොත් පත් පළ කිරීමෙන් හෝ ඒවා ආරක්ෂා කර ගැනීමෙන් හෝ අන්‍යාගමික අන්තවාදී තර්ජන වලින් බෞද්ධයින්ව ‍රැක ගැනීමෙන්”ම” නොව හැකි තාක් බුදු දහමට අනුව හැසිරීමෙනි.

Posted On Thursday, 29 December 2016 15:05

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!