Friday, 26 April 2024

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ කිසිදු ප්‍රමාදයක් නෑ - අධ්‍යාපන අමාත්‍යාංශය

Posted On Thursday, 21 February 2019 09:04

දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙළ පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන  අමාත්‍යාංශය පවසයි.



 පසුගිය වසරවල මෙන්ම මෙම වසරේ ද ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින අතර,  නිල ඇඳුම් තිළිණපත් ලබාදීමෙහි ප්‍රමාදයක් ඇතැයි පවසමින් ඇතැම් වෘත්තීය සංගම් විසින් මාධ්‍ය හරහා ගෙන  යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොපවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මේ සම්බන්ධව තවදුරටත් අඳහස් දක්වන අධ්‍යාපන අමාත්‍යාංශය මෙසේ ද පවසයි

2019 වර්ෂයේ පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම සිදුකෙරුණේ 2019.01.17 දිනයි. එසේ වුවත් අභියාචනා  හා විරෝධතා පරීක්ෂණයෙන් සැකසු අවසන් ලේඛනය ප්‍රදර්ශනය කළ පසුව ද මතුවන යම් යම් ගැටළු සහ දෝෂ  තත්ත්වයන් මත අවසන් ලේඛණයේ සියලු සිසුන් ඇතුළත් කර, අවසන් වීමට දළ වශයෙන් මාස 1½ පමණ  කාලයක් ගතවන බැවින් ද පන්ති භාර ගුරුවරුන් විසින් එකවර පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට නිල ඇඳුම්  තිළිණපත් ලබා දිය යුතු හෙයින් ද පළමු ශ්‍රේණියේ සිසුනට නිල ඇඳුම් තිළිණපත් ලබා දීම සෙසු ශ්‍රේණිවල  දරුවන්ට නිල ඇඳුම් තිළිණපත් ලබාදීමට පසු සිදු කිරීමට සිදුව තිබේ.

ඒ අනුව, පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත්ව සිටින සියලු සිසු දරුවන්ට පසුගිය වර්ෂවල බෙදා හරින ලද  පරිද්දෙන් ම කිසිදු ප්‍රමාදයකින් තොරව, පළමු පාසල් වාරය අවසන්වීමට පෙර නිල ඇඳුම් තිළිණපත් ලබා දීමට  නියමිතය.