Friday, 26 April 2024

පාසල් විභාගයකට පළමු වරට හඳුන්වාදුන් On line GIT විභාගයේ පෙරහුරු පරීක්ෂණය සාර්ථකයි

Posted On Monday, 25 March 2019 06:33

විභාග සඳහා ඉතිහාසයේ පළමු වරට මාර්ගගත ක්‍රමය (ONLINE ) පාසල් විභාග සහා අත්හදා බලමින් මෙවර උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පැවැත්වීමේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන් ම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.



ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය කිරීම උදෙසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 2017 වසරේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ උපදෙස් මත විද්වත් කමිටුවක් පත්කරනු ලැබීය.

එම කමිටු නිර්දේශයන්හි අඩංගු ඩිජිටල්කරණ වැඩසටහන යටතේ අ.පො.ස උසස් පෙළ සිසුන් සඳහා 12 වැනි ශ්‍රේණියේ දී පවත්වනු ලබන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය GIT මාර්ගගත ක්‍රමය (Online) ක්‍රමය යටතේ පැවැත්වීමට පියවර ගත් අතර,

එම විභාගයේ පෙරහුරු පරීක්ෂණය 2019 මාර්තු මස 11 දින සිට 18 දින දක්වා දින 8ක් තුළ දී දිනකට සැසි දෙකක් ලෙස සිසුන් 186,000ක් උදෙසා දිවයිනේ පරිගණක මධ්‍යස්ථාන 655ක දී ඉතා සාර්ථකව පැවැත්වුණි. මෙම පෙරහුරු පරීක්ෂණයේ අවසාන පරීක්ෂණය 2019 මැයි මාසයේ පැවැත්වීමට නියමිතය.

මෙහි දී සිසුන්ටත් විෂය ඉගැන්වීම් කටයුතුවල නිරතවන ගුරුවරුන්ටත් මාර්ගගත ක්‍රමය යටතේ විභාගයක් පැවැත්වීම පිළිබඳ පුළුල් ලෙස පුහුණුවක් ලබාගැනීමට ද ඉඩ ප්‍රස්ථා සැලසුණු අතර, ඉදිරියේ දී රජයේ දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතා කඩඉම් විභාග යනාදියට ද, ඊට අමතරව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සහ අ.පො. ස උසස් පෙළ විභාගයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා ද මේ අයුරින් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ සොයාබැලීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ අවධානය යොමු කර තිබේ.