Friday, 26 April 2024

ජනාධිපති පරිසර සම්මාන - 2019 අයදුම්පත් කැඳවිම ජුනි 14 දින දක්වා දීර්ඝ කෙරේ

Posted On Friday, 17 May 2019 05:40

මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්ෂිකව සංවිධානය කරන ජාතික මට්ටමේ ප්‍රධාන වැඩසටහනක් වන ජනාධිපති පරිසර සම්මාන 2019 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේ දිනය 2019 ජුනි මස 14 දින දක්වා දීර්ඝ කර තිබෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.



ප්‍රධාන අංශ 2ක් යටතේ ක්ෂේත්‍ර 20 ක් සඳහා මෙවර අයඳුම්පත් කැඳවා ඇති අතර, එම ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම්හි ඉල්ලීම පරිදි මැයි 15 දින සිට ජුනි 14 දින දක්වා අයදුම්පත් ලබාගැනිමේ කාලය මසකින් දීර්ඝ කිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ
ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය පියවර ගන්නා ලදී.

පරිසර හිතකාමී සමාජයක් බිහිකරලීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් “ශ්‍රී ලංකා නෙක්ස්ට්” නමින් රටට හඳුන්වා දී ඇති පුළුල් වූ පරිසර සංරක්ෂණ වැඩසටහන මේ වන විට අමාත්‍යාංශය යටතේ වන අදාළ ආයතන මගින් ක්‍රියාත්මක කරමින් පවතී.

පරිසර සංරක්ෂණයේ දී අත්‍යවශ්‍ය වන්නා වූ ඒක පුද්ගල කාබන් පියසටහන අවම කරගැනීමේ ක්‍රියාමාර්ගයේ දී හරිත සමාජයක් හෙවත් පරිසර හිතකාමී පුළුල් වු වැඩපිළිවෙලක් වෙත සමාජය පීළිගත කිරිම යුගයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත.

එම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීමේ දී ජනාධිපති පරිසර සම්මාන වැඩසටහන සඳහා සුවිශේෂි කාර්ය භාරයක් පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.