Friday, 26 April 2024

ආපදාවක් ඇත්නම් 1902ට ඇමතුමක් දෙන්න

Posted On Thursday, 24 May 2018 05:22

ආපදාවක් සිදුවුවහොත් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දීමට ස්වදේශ කටයතු අමාත්‍යාංශය විසින් 1902 හදිසි ඇමතුම් අංකය ලබා දී ඇත.


මෙම අංකයට ඇමතීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට තම ආපදාව පිළිබඳ තොරතුරු ලබාදීමට හැකියාව ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හදිසි ආපදාව හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සේවා සපයන ලෙසත්, ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඒ් සඳහා සූදානමින් සිටින ලෙසත් සියලු ම දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දෙන ලදී.

ආපදා තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ට මේ වනවිට බලපෑම් කර ඇත. බලපෑමට ලක් වූ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව 137කි. දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලැබී ඇති තොරතුරු අනුව පුද්ගලයන් 12දෙනකු මියගොස් ඇත. නිවාස 35ක්ට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංක්‍යාව 2199කි. වෙනත් දේපල හානි 751ක් වාර්තා වී ඇත.

(23) සවස 2.00 වනවිට පවුල් 11,723ක පුද්ගලයන් 44,745 ක් අවත්නැවීම හේතුවෙන් කඳවුරු ගත වී සිටි අතර ඔවුන් කඳවුරු 221ක රඳවා ඇති බව ස්වදේශකටයුතු අමාත්‍යාංශය පවසයි. දැනට ආපදා හේතුවෙන් පවුල් 27,623ක පුද්ලයෝ 106,913ක් බලපෑමට ලක්ව සිටිති. ආපදා තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙසේ පවසයි.

''සිදුවූ හානි සහ විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන සහ වන්දි ලබාදීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මට උපදෙස් ලබා දුන්නා. යම් හානියක් තම නිවසට හෝ දේපළවලට සිදුව තිබෙනවානම් තම වසමේ ග්‍රාම නිලධාරීවරයාට ඒ බව හැකි ඉක්මණින් වාර්තා කරන්න. ඒ වගේ ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හදිසි ඇමතුම් අංකයවන 1902 අංකයටත් මේ හානි පිළිබඳ දැනුම්දීමේ අවස්ථාව තිබෙනවා.

තවදුරටත් අයහපත් කාලගුණ තත්ත්වය දිවයින පුරාම පවතින බැවින් ආරක්ෂාකාරීව නිවසට වී සිටින්නැයි අපි ඉල්ලා සිටිනවා. මෙවැනි විපතක් වළක්වා ගැනීම අපසු බැවින් අපි මේ වෙලාවේ වඩාත් උනන්දු විය යුතු වන්නේ ජීවිත ආරක්ෂා කරගැනීමට ඒ ගැන දැඩි අවධානයක් යොමුකර තම නිවසේ හෝ නිවසට යම් අනතුරක් තිබේනම් වෙනත් සුරක්ෂිත ස්ථානයක රැඳී සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දී තිබෙනවා. ඔබ වෙනුවෙන් උපරිම සේවය කරන්න අපේ අමාත්‍යාංශයත්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් ඇතුළු සමස්ථ රජය කැපවී ක්‍රියාකරන බව ද මේ අවස්ථාවේ මා සිහිපත් කළ යුතුයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ හානි පිළිබඳ ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රදේශයේ ඕනෑම ක්ෂේත්‍ර නිලධාරියකුට හෝ කඩිනමින් දැනුම් දෙන ලෙසයි.