Monday, 20 November 2017

ලියුම් දෙකක කථාවක්

Posted On Sunday, 01 January 2017 08:06

ලියූ ලියැවිල්ල ඇය හිතින් කියැව්වාය.

හිතවත් ගිමන්ත,

මම මේ වගේ ලියුමක් ලියන්න කවදාවත් හිතුවේ නම් නැහැ. ඒත් අද මට ඒ ගැන දුකකුත් නැහැ. මං මේ තීරණය ගත්තේ ගොඩක්ම හිතලා බලලා. තවදුරටත් මේ කසාදේ පවත්වාගෙන යෑම අපි දෙන්නාටම වැඩක් නැහැ කියලා මට හිතිලා ගොඩක් කල්. ඒත් මට කරන්න දෙයක් තිබුනේ නැහැ. ඒත් දැන් ඉවසීමේ සීමාවේ අන්තිමටම ඇවිල්ලා.

මම අද මේ ගේ දාලා යනවා. සදහමට. මං දන්නවා ඔයාට දුක හිතෙන එකක් නැහැ. ඔයාගේ හිත ගලක්. මහා කළු ගලක්. ඔයාටම හරියන දරුවෝ දෙන්නා. මං ගැන කිසිම සැලකිල්ලක් ඔය තුන්දෙනාටම නැහැ. තාත්තාටයි පුතාලා දෙන්නාටයි දැන් සතුටින් ඉන්න පුළුවන් වෙයි. ඔයා තරම් මං උගත් නැති නිසානේ මේ සේරම. පුතාලාත් ඔයා වගේම මහා උගත්තු වෙයි. මට කමක් නැහැ. ඕනේ දෙයක් වුනාවේ. මං මගේ ජීවිතය හොයාගෙන යනවා. අදින් පස්සේ මං ගැන හොයන්න එපා. එහෙම කිව්වත් නැතත් ඔයා මං ගැන හොයන්නේ නැහැ කියලාත් මං දන්නවා. ඉතිං අද ඉඳන් මම ඔයාලාගෙන් වෙන්වෙනවා.

ඔයාටත් දරුවන්ටත් තිසරණ සරණයි.

ඔයාලාගේ සතුට පතන මම,
අංජලී

එය ටීපෝව මතින් තැබූ ඈ, පිළිවෙලකට සකසන ලද යුගල ඇඳ දෙස නෙත් යොමා, පිටවන්නට ආ සුසුම උත්සහයෙන් නවතාගෙන පුතුන්ගේ කාමරය වෙත ගියාය. ඔවුන් පාසල් ගොස්ය. සිටියද නිසංසලව පවතින කාමරය තුල බොහෝවිට කිසිවකු සිටීද හඳුනාගත නොහැකි තරමට ඔවුන්, පියාසේම නිහඬව පොත පත ඇසුරේය. සිහින් සුසුමකින් එයට සමුදුන් ඇය නිවසින් පිටවී, ත්‍රී රෝද රථයට ගොඩ වූවාය.

මගතොට ගැන නිනව්වක් ඈට නොවීය. අද පටන් ජීවිතය වෙනස් වනු ඇත. හිම මෙන් ගෙවුනු දිවිය නැවතත් ඒ උණුසුම් දෙඅතට මැදිවනු ඇත. මේ ගමන අතීතයේදී, පැතූ අයුරින්ම යා හැකි වූවා නම්..........

දුම්රිය ස්ථානයට පැමිණි ඇය නියමිත වේදිකාව වෙත පැමිණියාය. මිනිත්තු 10-15ක් ගතවිය. සිත අවිනිශ්චිත සිතුවිලි වෙත දොර හරින්නට වූයේ අනිච්ඡානුගතවය. හිඟන පිරිමි දරුවෙකු, ඇගේ අතින් අල්ලනතුරු ඔහුගේ පැමිණීම නොදැකීම ගැන ඇය පුදුම වූවාය.

“ඇයි ඇයි මොකද මේ?” ඇය නොරිස්සීමෙන් පසෙකට වූවාය.

“නෝනා...... අර මහත්තයා මේක දෙන්න කිව්වා” කියමින් ඔහු අත දිගුකරගෙන පසුපසට හැරුනත් ඒ මානයේ කිසිවකු නොවීය.

ආදරණීය අංජලී,

අපි කරන්න යන වැඩේ වැරදියි................

මුල් වැකියත් අවසන් වැකියක් කියැවූ ඇයට ක්ලාන්ත වන්නට එන සෙයක් දැනින. අසල අසුනට වැටුනු ඇය විනාඩි කිහිපයක් නිනව් නැතිව ගත කලාය. නිමේෂයෙන් බොහෝ ‍දේවල් සිහි වන්නට විය. වහා නැගී සිටි අංජලී ලිපිය ගුලිකොට ගමන් මල්ල තුලට ඔබා, දිවගොස් ත්‍රී රෝද රියෙක නැගුනාය.

ඇය පිටව ගිය පසු, ඈත කොනකට වී සාවධානව බලා සිටි ඔහු, හිතේ රැඳුනු මහා බරින් හෙම්බත්ව, බිත්තිය දිගේ ඇදී ගොස් වැටී, දණහිස් මත හිස ගසා ගත්තේය.

ආදරණීය අංජලී,

අපි කරන්න යන වැඩේ වැරදියි. මං කියන්නේ හොඳ සිහි කල්පනාවෙන්. ඔයාගේ හස්බන්ඩ් නොසලකනවා කියලා, දරුවෝ ඔයා ගැන සැලකිල්ලක් නැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් අංජලී ඔයායි මායි හොඳටම දන්නවා ඔයාගේ හස්බන්ඩ් ඔයාට දුන්නේ බොහොම පිරිමි, දෙන්න නොහිතන සමාවක් කියන එක. අපට ඒක අමතකවුනු එකත් බොහොම වැරදියි.

මට දැන් තේරෙන විදිහට අපි වැඩිහිටියෝ හැටියටත් දරුවෝ ඉන්න දෙමව්පියෝ හැටියටත් මේ ගත්ත තීරණේ අන්තිම අසාධාරණයි.

අපි දෙන්නා පවුල් දෙකක මුල් කණු දෙකක්. ඒ කණු ගැලවුනොත්, ඔයාගේ මහත්තයා, දරුවෝ, මගේ වයිෆ්, දරුවෝ ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි එකතු වෙලා තව දරුවෝ හැදුවොත් එයාලා ලෝකෙට මුහුණ දෙන්නේ කොහොමද? අපි දෙන්නාගේ පවුල්වල සහෝදර සහෝදරියෝ....... ඒ අයගේ ජීවිත වුනත් යම් තරමකට හරි දෙදරයි.

ඒවා පැත්තක. අංජලී අපි අපේ දරුවෝ ගැන හිතන්න වෙනවා. අපි එයාලාට චපල වුනොත් සමහරවිට ඒ අය මුළු ජීවිතයම අඳුර කරගනියි. ගිමන්තයි ශාන්තියි ආයේ බැන්දොත්?

අංජලී අපි ඉවසමු. දෙමව්පියෝ එකතුවෙලා අපට මේ දුක දුන්නා. ඒ දුකම නොවුනත් දරුවන්ට ඊටත් වඩා ගැඹුරු ගින්දරක් දෙන්නයි අපි හැදුවේ. අපි මේ වැරැද්ද නොකර හිටියොත් සමහරවිට අපේ දෛවය අපට ලබන ආත්මේ හරි එකතු වෙන්න ඉඩක් සලසයි. හැබැයි අපි මෙහෙම කලොත් සදාකාලිකව ගෙවා ගන්න බැරි පවක් වෙයි.

ආයේ මේ ආත්මයේදී මාව හීනෙන්වත් දකින්න එපා අංජලී.

මෙයට හිතවත් ජනක

ගලන කඳුලේ මූලය දුකද, කේන්තියද, පසුතැවිල්ලද, වෙන යමක්ද යන්න ගැන ඇයට නිනව් නොවීය.

නැවතූ සැනින් රියෙන් පැනගත් ඇය වහ වහා ඉහළ මහලට දිව ගියාය. ලිපි දෙකම එකම ගුලියක් කොටගෙන මුළුතැන්ගෙට ගිය ඈ, චපලත්වයත් ප්‍රේමයත්, එකිනෙකා වැළඳ, එකම ගින්නේ දැවෙන අයුරු දිලිසෙන දෙනෙතින් බලා සිටියාය.



ලියා එව්වේ - රන්දිකා රණවීර
http://ranrandil.blogspot.com/

Read 198 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!