Friday, 31 July 2020 05:18

සී.අයි.ඩී.ය හොර ගුහාවක් ජනපති කොමිසමේ සභාපති කියයි

Written by
Rate this item
(0 votes)

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර ගුහාවක් බවට පත් වී ඇතැයි දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ඊයේ (30වැනිදා) ප්‍රකාශ කළේය.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ තොරතුරු සටහන් පොතක (ෆැක්ස් පණිවිඩ පිළිබඳ සටහන් තබන පොත) ඇතුළු සටහන් ‘ටිපෙක්ස්’ දමා මකා තිබීම ගැන අවධානය යොමු කරමින් සභාපති විනිසුරුවරයා එලෙස ප්‍රකාශ කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ එම ක්‍රියා කලාපය විවේචනය කළ සභාපති විනිසුරුවරයා, මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හොර වැඩ කරන්නේ කෙසේ දැයි වගඋත්තරකාර සහකාර පොලිස් අධිකාරී බී.ඒ. තිසේරාගෙන් ප්‍රශ්න කර සිටියේය.

යාපනයේ විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සැකකරුවෙකු අත්අඩංගුවට නොගෙන මුදා හරින ලදැයි අසත්‍ය චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගෙන නඩු පැවැරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් ඊයේ (30දා) විභාගයට ගත් අවස්ථාවේ දී සභාපති විනිසුරුවරයා එලෙස අවධාරණය කළේය.

ජනාධිපති කොමිසම විසින් අදාළ පැමිණිල්ල ගැන තීරණයක් ගැනීමට පෙර ලලිත් ජයසිංහට එරෙහිව ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය ගැන තීරණයක් ගැනීම පිළිබඳව නීතිපතිවරයා සලකා බැලීම සුදුසු බව ද සභාපති විනිසුරුවරයා මෙහි දී අවධාරණය කළේය.

ඉෂාර රත්නකාර - අරුණ පුවත්පත 

Read 2169 times