Saturday, 07 June 2025

ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථා

Posted On Tuesday, 03 June 2025 05:22

ශ්‍රී ලාංකිකයින්ට මාලදිවයිනේ වැඩි රැකියා අවස්ථා

 

ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා පැවසුවේ ය.

ඒ මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඊයේ (02) අමාත්‍යංශයේ පැවැති අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකාවට පුහුණු ශ්‍රමික සහ වෘත්තීමය යන රැකියා ඛාණ්ඩවල රැකියා අවස්ථාවන් වැඩි කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද තරදුරටත් මසූද් ඉමාද් මහතා අමාත්‍ය විජිත හේරත් මහතාට දන්වා සිටියේ ය.

මාලදිවයිනේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සිය විදේශ ප්‍රේෂණ ලංකාවට එවීමේ දී මතුව ඇති ගැටලු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා කළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මසූද් ඉමාද් මහතා කියා සිටියේ ඒ පිළිබඳව මාලදිවයින රජයේ ද අවධානය යොමු වුණු බවත් එම ගැටලුකාරී අවස්ථා විසඳීමට දැනටමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ය.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඇති අවස්ථා පිළිබඳව ද සාකච්ඡා කෙරුණි.