කතුවැකිය

කතුවැකිය

ජනතාව විඳින පීඩාව වචන බවට පෙරැළිය නොහැකි තරමට භාෂාව ද අසරණ වී තිබේ. අර්බුද වගුරෙන් ගොඩ ආ හැකි මගක් කිසිවෙක් හෝ නොකියති. ‘‘ඉදිරි සති දෙක අමාරුයි’’ කියා වගකිවයුත්තන් කියනවිට ජනතාව කියන්නේ ඊට පස්සෙත් අමාරුයි ‘‘තමයි’’ කියාය. රටේ යථාර්ථය එයම විනා අන් යමක් නොවේ.

බලාපොරොත්තු විරහිතව අපේක්ෂාභංගත්වයෙන් සිටින ජනයා වෙත ශුභාරංචියක් ලැබිණි. එම ශුභාරංචිය රැගෙන ආවේ මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතාය. ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේ ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට සහල් අලෙවි කරන’’ බවය.

රුපියල් 70ට 80ට තිබූ නාඩු හාල් කිලෝව රුපියල් 220 දක්වා ඉහළ යාම සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා ඇතුළු ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයන්ට චෝදනා එල්ල විය. රජය පසෙක තිබිය දී මාධ්‍ය හමු කැඳවා හාල් මිල ප්‍රකාශයට පත් කළේ ද ඩඩ්ලි සිරිසේන මහතාය. හැම පැත්තෙන්ම චෝදනා එල්ල වූයේ රජයට පාලනය කළ නොහැකි වී මාෆියාවක් මෙන්ම සහල් මාෆියාවක්ද තිබෙන බවය. එම මාෆියාවේ ‘‘ගෝඩ් ෆාදර්’’ ලෙස හැඳින් වූයේ ද ඩඩ්ලි සිරිසේන මහතාවය.

රජය වීවලට පාලන මිලක් නියම කළ විට ඊට වඩා වැඩි මුදලක් ගෙවා මෙම මාෆියාකරුවන් ගොවියන්ගෙන් වී මිලදී ගන්නා බවත් එම වී තොග ගබඩා කර තබා රට තුළ හාල් හිඟයක් ඇති වූ විට වී හාල් කර වැඩි මිලට වෙළඳ පොළට නිකුත් කෙරෙන බවත් රහසක් නොවේ. පාරිභෝගික සේවා අධිකාරිය මෙම මහා පරිමාණ හාල් මෝල් වැටලූ අවස්ථාද විය. ඩඩ්ලි සිරිසේන මහතා ද මෙම චෝදනා ප්‍රතික්ෂේප නොකරයි. ‘‘අපි අවුරුදු 40ක් ජනතාවගෙන් ලාභ ගත්තා. දැන් ජනතාව ඉන්නේ අමාරුවෙන්. ඒ නිසා ඒ  ජනතාවට සහනයක් දිය යුතුයි. පාලන මිලට හාල් දෙන්න මම තීරණය කළේ ඒ නිසයි.’’ මාධ්‍ය හමුවේ දී ඔහු ප්‍රකාශ කළේය.

ඇතැම් වෙළෙන්ඳන් බලාගෙන සිටින්නේ පොදු මහජනතාව සූරාගෙන කෑමටය. පෙට්ටි කඩයේ සිට මහා පරිමාණ සුපිරි වෙළඳ සැල් දක්වා ද ගෑස් කඩයේ සිට ඉන්ධන පිරවුම්හල දක්වා ද මෙම සූරාකෑම ව්‍යාප්ත වී තිබේ. ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාව මෙම සූරාකෑම නිසා තව තවත් අන්ත අසරණ තත්ත්වයට පත් වෙති. එහෙත් එම ජනයාට පිහිටට පිළිසරණට ඒමට කිසිවකුත් නැත. පාලන මිලටම සහල් දීමට ඩඩ්ලි සිරිසේන මහතා තීන්දු කිරීම ශුභාරංචියක් වන්නේද එම පරිසරය තුළය.

පාලන මිලට සහල් නිකුත් කරන බව දැනුම්දීමට කැඳවූ මාධ්‍ය හමුවට එක්ව සිටි තවත් සහල් ව්‍යාපාරිකයකු කියා සිටියේ ‘‘පාලන මිලට සහල් නිකුත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන’’ බවය. එමෙන්ම ‘‘සහල්වල පාලන මිල තවත් රුපියල් 25කින් ඉහළ දමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවය.’ රජයේ පාලන මිලට ගරු කළ ද නාඩු කිලෝව රුපියල් 249 දක්වා වැඩි කිරීමට රජයෙන් ඉල්ලීමක් කළා. එය ලබා දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එසේ වැඩි කළහොත් කඩ හිමියාට රුපියල් 2ක් දීම ප්‍රමාණවත් නොවීම නිසා කඩ හිමියාට රුපියල් 5ක් ලැබෙනවා යනුවෙන් එම ව්‍යාපාරිකයා පැවසීය.

සැබැවින්ම සිදුවිය යුත්තේ ගොවියාත් ව්‍යාපාරිකයාත් කඩ හිමියාත් ආරක්ෂා කෙරෙන හා පොදු ජනයාට සාධාරණය ඉටුවන ක්‍රමවේදයකි. එබන්දක් සකස් කර ගත නොහැකිනම් මහා වාගාඩම්බරයෙන් පවසන අප අත්කරගෙන ඇතැයි පවසන දියුණුව කුමක්ද යන්න ප්‍රශ්න කිරීම යුක්ති සහගතය. කෙසේ වෙතත් ඉබාගාතේ යන පාලනයක් සහිත රටකට එබඳු ක්‍රම​වේදයක් සකස් කර ගැනීම කළ නොහැකිවීම ද පිළිගත යුත්තකි. මේ සියල්ලෙන්ම පීඩාවට පත්ව සිටින්නේ රටේ පොදු මහජනතාවය.

ජනයා මේ මොහොතේ තොග පිටින් සහන අපේක්ෂා කරති. එහෙත් අපේක්ෂා කළ ද ඒවා ලැබෙන්නේ නැත. අද දවස සම්බන්ධයෙන් මෙන්ම හෙට දවස සම්බන්ධයෙන්ද හිස් හැඟීමක් ජනිත වී තිබෙන්නේද එහෙයිනි. එබඳු ශාපලත් පරිසරයක රජයේ පාලන මිලටම හාල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට ඩඩ්ලි සිරිසේන මහතා ක්‍රියා කිරීම පැසසුම් කටයුතුය. එමෙන්ම තමන් මෙන්ම පාලන මිලටම  සහල් වෙළඳ පොළට නිකුත් කරන ලෙස අනෙකුත් සහල් ව්‍යාපාරිකයන්ගෙන් ද ඔහු ඉල්ලා සිටියේය. ඉන් නොනැවතුණු ඔහු සියලු ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ මොහොතේ ජනතාවට සහන සලසන ලෙසය.

ලාභ නොලබා ව්‍යාපාර පවත්වාගෙන යා නොහැකිය. එහෙත් රට අතිශයින්ම දුෂ්කර ඉරණමකට යටත්ව සිටින මොහොතක අධික ලාබ ගැන නොසිතා ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට ව්‍යාපාරික ප්‍රජාව මැදිහත් වන්නේනම් එය ජනතාවට සහනයක් වනු නියතය.

 

1958 වසරේ ආරම්භවූ ශ්‍රී ලංකා - රුසියා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව එරොෆ්ලොට් ගුවන් යානා සිද්ධියත් සමඟ බරපතළ දෙදරුම්කෑමකට ලක්විය. එදා මෙදාතුර ගතවූ 64 වසරක කාලය පුරාම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර පැවතියේ ඉතාමත් සුහද රාජ්‍ය තාන්ත්‍රික බැඳීමකි. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය කාලයේ මෙන්ම ඉන් පසුවද මෙම සබඳතාවලින් වැඩි වාසි ලැබුවේ ශ්‍රී ලංකාවයි.

දැනට මෙරට නිෂ්පාදනය කරනතේ වලින් 15% ක් පමණ මිලට ගන්නේ රුසියාවයි. මේ හැර දෙරට අතර සංචාරක හුවමාරුව මෑතක සිට රුසියා ශ්‍රී ලංකා සබඳතාවල ප්‍රබල ඉසව්වක් වී තිබේ. සතිපතා ‘එරොෆ්ලොට්’ ගුවන් යානා තුනකින් කොළඹට රුසියානු සංචාරකයෝ 1000 ක් පමණ පැමිණියහ. එසේම එළඹෙන ශීත කාලයේ එරටින් සංචාරකයන් ලක්ෂ 4ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබූ බව ද වාර්තා විය. එහෙත් ‘එරොෆ්ලොට්’ ගුවන් යානා අලකලංචිය නිසා මෙම සියලු‍ ව්‍යාපාර අවස්ථා ඉදිරියේ රතු එළියක් දැල්විණි.

මෙම අර්බුදයට තුඩු දුන් ගුවන් යානය සාමාන්‍ය පරිදි කටුනායකට මගීන් ප්‍රවාහනය කරන යානයකි. එය මෙහි පැමිණි 7 වැනි වාරය මෙය බැව් ද වාර්තා විය. ගුවන් යානය රක්ෂණය කළ අයර්ලන්ත රක්ෂණ සමාගමට ගෙවිය යුතු වාරික හිඟ තබා ඇතැයි කියමින් එම රක්ෂණ සමාගම කොළඹට පැමිණි රුසියානු යානයට එරෙහිව නඩු කටයුත්තක් මෙරටදී ආරම්භ කළේය. ඊට අදාළව වාණිජ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ නිසා ගුවන් යානය දින 5ක් පමණ ගුවන්ගත කළ නොහැකිව කොළඹ රඳවා තැබිණි. මේ සම්බන්ධයෙන් සිදුවූ නීති කටයුතු මෙන්ම ඒවා භාරව ක්‍රියා කළ නීතිඥයාගේ සහ පිස්කල් නිලධරයාගේ අධිවේගී ක්‍රියා කලාපයද මාධ්‍ය විසින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබ තිබේ.

‘එරොෆ්ලොට්’ ගුවන් යානය මෙරට රඳවා ගැනීමට නියෝග කළේ වාණිජ මහාධිකරණය නිසා ගුවන් තොටුපොළ බලධාරීන් යානය රඳවාගත් නමුත් රජය පසුව ප්‍රකාශ කළේ උසාවිය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ශ්‍රී ලංකා රජයට හෝ ගුවන් තොටුපොළ අධිකාරියට එරෙහි එකක් නොවන වගය. එය අදාළ ගුවන් සමාගම්වලට පමණක් බලපවත්වන්නේ යැයිද ප්‍රකාශ විය. එවිට මෙය හතරබීරි කතාවක් බවට පත්වූ අතර ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කළ විෂය භාර අමාත්‍යවරයා මෙන්ම අගමැතිවරයාද සඳහන් කර තිබුණේ යානය රඳවා ගැනීම ආණ්ඩුවේ ක්‍රියාවක් නොවන බවය. එය එකී සමාගම් අතර හටගත් නෛතික අර්බුදයක ප්‍රතිඵලයක් බව එම නිවේදන මගින් කියැවිණි.

එහෙත් ලොව පංච මහා බලවතුන්ගෙන් කෙනකු වන රුසියාව අපේ පිළිතුරුවලින් සෑහීමට පත්වූ බවක් නොපෙනිණි. ඔවුන් මොස්කව්හි සිටින ශ්‍රී ලංකා තානාපතිනිය එරට විදේශ අමාත්‍යංශයට කැඳවා මෙම සිද්ධිය ගැන සිය දැඩි විරෝධය මෙන්ම අප්‍රසාදය පළ කළේය. වහාම මෙම ප්‍රශ්නය විසඳන ලෙස ශ්‍රී ලංකාවට අවවාදාත්මක ස්වරයෙන් දැනුම් දී තිබිණි. ශ්‍රී ලංකාව තමන්ගේ අභිමානයට මදිපුංචිකමක් කර ඇති බව රුසියාවේ ප්‍රකාශයෙන් ගම්‍ය විය.

කෙසේ වෙතත් මෙම අර්බුදයේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයේ කිසියම් මන්දගාමී බවක් සහ අලස බවක් පැවති බව පිළිගත යුතුය. සාමාන්‍යයෙන් අපට හිතවත් ප්‍රබල රටක් රජයට පාලනය කළ නොහැකි ක්‍රියාකාරකමක් නිසා පීඩාවට හෝ අවමානයට ලක්වන්නේ නම් දෙරට අතර සුහද බව රැකගන්නට පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන් ඕනෑ තරම් ඇත. ශ්‍රී ලංකා ජනාධිපති රුසියානු ජනාධිපතිට දුරකතනයෙන් අමතා කරුණු දැක්වීම එක් ක්‍රමයකි. එසේත් නැතිනම් මෙරට විදේශ අමාත්‍යවරයා රුසියාවට ගොස් එරට බලධරයන්ට කරුණු පැහැදිලි කිරීම තවත් ක්‍රමයකි. වත්මන් රජය මේ කිසිවකට උනන්දු වූ බවක් නොපෙනිණි. ගුවන් යානයට අදාළ වාරණ නියෝගය උසාවිය ඉවත් කරන ලද දවසේ අධිකරණ අමාත්‍යවරයා රුසියානු තානාපතිට තත්ත්වය පැහැදිලි කළ බව පසුව ප්‍රකාශ විය. එය සිදුවූයේද බෙහෙවින් පමා වී ය.

එහෙත් මෙහිදී රජය අමතක නොකළ යුතු කරුණු ගණනාවක් තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනාවලින් දමාගසද්දී අපේ පිහිටට ආවේ රුසියාව සහ චීනයයි. රුසියාව මෙරටින් කරන මිලදී ගැනීම්වලට අමතරව ශ්‍රී ලාංකික දරු දැරියන් දහස් ගණනකට උසස් අධ්‍යාපන අවස්ථා ලබා දී තිබේ. එසේම පසුගිය කොවිඩ් වසංගත කාලයේ ශ්‍රී ලංකාවට ‘ස්පුට්නික්’ එන්නත සපයා දීමෙන් කරන ලද උපකාරය ද අමතක කළ නොහැක.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර ඉතාමත් හොඳ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවතියේ හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේය. එවකට පැවති සෝවියට් පාලනය මෙරටට දැවැන්ත කම්හල් ගණනාවක් තෑගි කළේය. තවත් සංවර්ධන ව්‍යාපෘති රැසකට උදව් පදව් කළේය. ජාත්‍යන්තර ප්‍රශ්නවල දී සැමවිටම ශ්‍රී ලංකාව රුසියාවටත් රුසියාව ශ්‍රී ලංකාවටත් සහාය විය. මේ නිසා දෙරට අතර ඉතා ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගිණි. මෑතක ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට නතුවෙමින් තිබියදී වත්මන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එරට වැසියන්ට ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු රටක් ලෙස නිර්දේශ කළේය.

එවන් යහපත් සබඳතා තිබූ අප දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙවැනි සංවේදී සිදුවීම් මගින් අඩාල නොවන තැනට කටයුතු කිරීම බලධරයන්ගේ වගකීමය. මෙරට රඳවාගෙන තිබූ ගුවන් යානය නිදහස් කළ සැණින් රුසියානු විදේශ අමාත්‍යංශය අපට ස්තූති කරමින් ප්‍රකාශයක් ද නිකුත් කර ඇති බැවින් දෙදරා ගිය සබඳතා ඉදිරි කාලයේදී හෝ යහපත් ලෙස නඩත්තු කොට මිතුරන් පසමිතුරන් කර නොගෙන ඔවුන් රැකගැනීම රජයේ බලධරයන්ගේ යුතුකම හා වගකීම බව සනිටුහන් කරමි.

Tuesday, 07 June 2022 02:59

අධිවේගයේ නාටකය

 

අධිවේගයේ නාටකය කියූ සැණෙන් රටේ ලොකු කුඩා කවුරුත් දන්නා සිද්ධියක් අපගේ සිහියට නැ‍ඟෙයි. එක අතෙකින් බලන විට එය රට පුරා ප්‍රචලිත විය යුතු දෙයක් නොවේ. තව අතෙකින් බලන විට එහි බරපතළ තත්ත්වයක් ද තිබේ. කුමක් වුව සමාජමාධ්‍ය අදාළ සිද්ධියට තටු ලබා දුන් අතර පසුව එය ප්‍රධාන ජනමාධ්‍යවලට ද කටගැස්මක් විය. අද වන විට එය ජාතික සංවාදයකට අවශ්‍ය පදනම සකස් කර තිබේ. දේශපාලකයා හා පොලිස් නිලධරයා අතර ගැටුමක් හැටියට එය හැඳින්විය හැකිය. පුද්ගලයන් දෙදෙනාට ම යම් බලයක් තිබේ. ගැටලුව ඇත්තේ ඔවුන් ස්වකීය බලය භාවිත කරන ආකාරය තුළය.

සියල්ලන්ම සිද්ධියට අදාළ ජවනිකා නරඹා ඇතැ’යි සිතන බැවින් එය නැවත නැවත කතාන්දරයක් ලෙස හුවා දක්වන්ට වුවමනාවක් නැත. එහෙත් ආරම්භයක් හැටියට නාටකයේ මුල් ජවනිකාව පමණක් නැවත සිහි කරන්නට කැමැත්තෙමු. දේශපාලකයකුගේ පුත්‍රයෙක් කැබ් රථයක අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයේ ගමන් කරයි. පොලිස් මුරපොළක දී රථය නවත්වන අතර තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව එහි සිටි පොලිස් නිලධාරීහු කියති. එතැන් සිට බහින් බස්වීමක් සිදුවන අතර චුදිත පුද්ගලයාගේ බිරිය ද ගැටුමට සම්බන්ධ වෙයි. එතැන් සිට දේශපාලකයාගේ පුත්‍රයා තම බලය පෙන්වන අතර පොලිස් නිලධාරීහු තම බලය පෙන්වති.

සිද්ධි නිරීක්ෂණය කරන පිරිසක් දේශපාලකයන්ට හා ඔවුන්ගේ හත්මුතු පරම්පරාවට ම බැණ වදිති. තව පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බැණ වදිති. සිද්ධිය දෙස මධ්‍යස්ථ ඇසකින් බලන කෙනකු නැති ගණනය. මේ කාලය වනාහී ජනතාව නීතිය අතට ගැනීමට උත්සාහ දරන පීඩිත කාලපරිච්ඡේදයකි. විශාල පිරිසකට දේශපාලකයන් පෙනෙන්නට බැරි තත්ත්වයක් පවතී. තව අතෙකින් පොලිසිය කෙරෙහි ද අමනාපයක් ජනතාව තුළ තිබේ. පොලිසියට කැමැති අය දේශපාලකයන් වැරැදිකාරයන් කිරීමට උත්සුක වෙති. පොලිසියට අකැමැති අය දේශපාලකයන් නිවැරැදි කිරීමට උත්සුක වෙති. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පාර්ශ්ව දෙකම නීතිය හමුවේ එක සමානය. පාර්ශ්ව දෙකෙහිම වැරැදි ඇතොත් ඒවාට දඬුවම් හිමි විය යුතුය.

සිද්ධිය තාර්කික විග්‍රහයකට ලක් කළහොත් මහා මාර්ගය නීති විරෝධී ලෙස භාවිත කරන කෙනකුට උපදේශන සැපයීමට, ඔහු අත්අඩංගුවට ගැනීමට හා අවශ්‍ය නම් අවම බලය පාවිච්චි කිරීමටත් පොලිස් නිලධරයාට නීති ප්‍රතිපාදන සපයා ඇත. දේශපාලකයා නීතිය ඉදිරියේ කිසිදු ආකාරයකින් විශේෂ පුද්ගලයකු නොවන අතර ඔහු නීතියට අවනත විය යුතුය. පොලිස් නිලධාරීන්ට ඇහුම්කන් දිය යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්විය යුතුය. මෙහිදී චුදිතයාට තර්ජනය කිරීමට, හෝ පහරදීමට හෝ අයිතියක් පොලිස් නිලධරයාට නැත. දඩබ්බරකම් කරන චුදිතයකුට පහර නොදී ඔහු අඩපණ කොට අත්අඩංගුවට ගත හැකි උපායමාර්ග පොලිස් අභ්‍යාස විද්‍යාල‍යයේ දී උගන්වයි. පොලිසිය ඒවා භාවිත කළ යුතු අතර මැරයන් සේ ක්‍රියා නොකළ යුතුය. දෙපාර්ශ්වය ම තම තමන්ගේ නිදහසට කරුණු කියන බව පෙනෙයි. දේශපාලකයන්ගේ පාර්ශ්වය කියන හැටියට පොලිස් නිලධාරීන් චුදිතයාගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට පහර දී ඇත. පොලිස් නිලධාරීන් කියන හැටියට එවැන්නක් සිදු වී නැති අතර චුදිතයා රාජකාරියට බාධා කර ඇත. මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය. දැන් එවැන්නක් සිදුවෙයි. සිද්ධියෙන් පසු චුදිතයා හා ඔහුගේ බිරිය සැඟව සිටි බවක් ද වාර්තා වී ඇත. චුදිතයන්ට සැඟවීම සඳහා පහසුකම් සැපයූ කෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. චුදිත යුවළ නීතිය හමුවට දිරිපත් කරන බව චුදිතයාගේ පියා පවසයි. මේ සෑම පුද්ගලයකුටම ගෞරවනීය ලෙස අදාළ ගැටුම සමථයකට පත් කර ගැනීමේ අවස්ථාව තිබේ. දැන් සියල්ලන්ම ඒ වෙත යොමු විය යුත්තේ පරණ කුණු ඉවත දමමින්ය.

මේ සිද්ධියෙන් උගත යුතු පාඩම් කිහිපයක් තිබේ. එක; දේශපාලකයන් තම උඩඟුකම පසෙකලා සැබෑ මහජන නියෝජිතයන් සේ නීතිගරුකව කටයුතු කිරීමට උගත යුතුය. දෙක; පොලිස් නිලධාරීන් ද තම සීමාවන් දැනගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. තුන සමාජ මාධ්‍ය වගකීමකින් යුතුව තම කාර්යභාරය ඉටු කළ යුතු බවය. එවිට ලස්සන රටක් අපට හිමිවනු ඇත. ‍


මුළු සමාජයේම අවධානය බඩු මිල ගැන ය. ඉන්ධන හා ගෑස් පෝලිම් වෙත ය. අරගල බිම වෙත ය. ඒ අතරවාරයේ අණක් ගුණක් නැති පාතාලයෝ බියක් සැකක් නොමැතිව මහ දවාලේ මහ පාරේ වෙඩි තබා මිනිසුන් මරා දමති. කොටුව මහේස්ත්‍රාත් සංකීර්ණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරමින් පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළේදී ඉකුත්30 වැනිදා සිදු කළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ පුවතක් අප පුවත්පත වාර්තා කළේ ය.

අතීතයේ ගම්වල චණ්ඩි සිටියහ. කට ගොන්නක් බීගෙන ඇඳිවත ඔසොවමින් කාට හෝ පරුෂ වචනයෙන් බැණ වැදීම චණ්ඩින්ගේ සිරිත ය. නගරවල සිටි චණ්ඩි බැංකු රොබරි, වැටුප් මුදල් කොල්ලකෑම් ආදී කටයුතුවල නිරත වූහ. කාලයාගේ ඇවෑමෙන් මෙම චණ්ඩි වඳවී ගියහ. පාතාලය මතු වූයේ ඒ පරිසරය තුළ ය.

පාතාලය මතුවීමටත් රටේ පැවැති දේශපාලන පරිසරය බලපෑවේ ය. විශේෂයෙන් දේශපාලනඥයා පසුපස නාඳුනන තුවක්කුකරුවා පන්නන විට දේශපාලනඥයාට දී තිබූ සීමිත ආරක්ෂාව දේශපාලඥයාගේ ජීවිත ආරක්ෂාවට ප්‍රමාණවත් නොවීය. 87-89 යුගයේ දී තත්ත්වය බෙහෙවින් බියකරු විය. ඒ වනවිට යුද්ධය ද දරුණුවට ඇවිළී යමින් තිබූ අතර යුද බිමෙන් පලා එන සෙබළු ද සුලභ වූහ. එසේ පැමිණෙන සෙබළුන්ට මැති ඇමති නිවාස ඉතා ආරක්ෂිත විය. දේශපාලනඥයා හා පාතාලය අතර සහසම්බන්ධතාව ගොඩනැගෙන්නේ එසේය. එකකින් තව එකක් පෝෂණයවීමේ දාමය ගොඩනැගෙන්නේ එසේය. පාතාලයේ නාඳුනන තුවක්කුකරුවා එල්ල කරන සෑම මූනිස්සකටම ඒ සඳහා අවශ්‍ය පරිසරය සෑදූ සෑම පාර්ශ්වයක්ම වගකිව යුතුය.

අවියේ බලයෙන් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම පාතාලයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග වේ. ඒ කුලියට මිනී මැරීමට අමතරවය. පාතාලයේ භාෂාව ‘‘ලෙයට ලෙය ය, ඇසට ඇස ය, මරණයට මරණය ය.’’ පාතාලයේ කෙරුමා වීමේ දොළ සන්සිඳුවා ගැනීමට අවශ්‍ය කරන මිනිස් බිලි ප්‍රමාණය කොතෙක් වුවද එම බිලි ප්‍රමාණය ගැනීමට පාතාලයෝ අතපසු නොකරති. අනුඅංකයක් නැති මූනිස්සම් ඉදිරිපිට අභය දානය ඉල්ලා හඬා වැටීමට සමාජයට සිදු වූයේ එහෙයිනි.

පාතාලයේ වර්ධනයට දේශපාලනඥයන් මෙන්ම පොලිසියද වග කිව යුතුය. සියල්ලන්ම නොවුණත් සැලකිය යුතු ප්‍රමාණයක් පාතාලයන් සමග යහන්ගත වෙති. ඒ පාතාලයන් සතු දේශපාලන සබඳතා දන්නා හෙයිනි. මාරුව අවලංගු කරවා ගැනීමට, තමන්ට අවශ්‍ය ප්‍රදේශයට මාරුව සකස් කර ගැනීමට පමණක් නොව උසස්වීම් ලබා ගැනීමටද පොලිස් නිලධාරියාට පාතාලයේ උපකාරය අවශ්‍ය වේ. අතු ඉති රිකිලි පුරවා වැඩුණු මහා වෘක්ෂයක් මෙන් පාතාලය වර්ධනය වූයේ මෙම පරිසරය තුළ ය.

සමාජ පැවැත්මේ ප්‍රධානම සාධකය ආරක්ෂාව වේ. ජීවිත ආරක්ෂාව මෙන්ම දේපළ ආරක්ෂාව ද එයට ඇතුළත් ය. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන භීතියකින් තොරව කල් ගෙවීම පුරවැසියා සතු අනුල්ලංඝනීය අයිතියකි. එම අයිතිය අහිමිව යන්නේ නම් එතැන ජීවිතය නැත. එබඳු ශාපලත් ඉරණමකට පුරවැසියා ඇද දැමීමට කිසිවකුට අයිතියක් ද නැත.

මෙරට නීතිය සම්බන්ධයෙන් බරපතළ විසංවාදයක් පවතී. විශේෂයෙන්ම නීතිය සමානව ක්‍රියාත්මක නොවන බවට චෝදනාවකි. මෙබඳු චෝදනා ගොඩනැගී තිබෙන්නේද යම් යම් සිද්ධි ආශ්‍රය නිශ්‍රය කරගෙනය. මෙම චෝදනා නීතියේ ගරුත්වයට බරපතළ තර්ජනයකි. නීතියේ ගරුත්වය බිඳී යාම තුළ නීතියට අවශ්‍ය නොවීමේ මානසිකත්වයට පදනම වැටේ. එනිසා පළමුව කළ යුත්තේ නීතියේ ගරුත්වය ආරක්ෂා කර ගැනීමට කළමනා කටයුතු සංවිධානය කිරීමය. නීතියේ ආධිපත්‍යයට සමාජය යටත් කර ගැනිමට හැකි වන්නේ එමගින් පමණි.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු විට ආදේශ වන්නේ කැලෑ නීතියයි. 87-89 යුගයේදී මෙරට සමාජය ඒ බව හොඳාකාරව තේරුම් ගත්තේය. මිනිස් ජීවිතවල අගය පිච්චියට ගිය විට කිසිවකුට තම ජීවිතයේ පැවැත්ම සම්බන්ධයෙන් අපේක්ෂාවක් හෝ විශ්වාසයක් ඇතිකර ගත නොහැක. සමාජයකට අත්වීමට ඊටත් එහා ගිය තවත් විපතක් නැත.

මීට දෙතුන් මසකට ඉහතදී පානදුර රෝහල ඉදිරිපිටදී මෙවැනිම පාතාල ප්‍රහාරයක් එල්ල විය. අලුත්ම සිදුවීම පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම් පොළ ඉදිරිපිටදී සිදු කළ වෙඩි තැබීමය. මේ අපරාධකාරයන් කවුදැයි සොයා ගැනීමට පොලිසියට වැඩි කාලයක් ගත නොවේ. මන්දයත් සංවිධානාත්මක අපරාධ කල්ලි සම්බන්ධයෙන් පොලිසිය නිරන්තරයෙන් සෝදිසියෙන් සිටිය යුතු හෙයිනි. එහෙයින් මෙම අපරාධකරුවන් වහා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණ විය යුතු ය.


ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලැබීමට නියමිත බව පසුගියදා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණි. එයින් කොටසක් ඉන්දියාවෙන් නැව් ගතකර ඇති බවට සඳහන් ප්‍රවෘත්තිද පළ විය. මේ පොහොර යල කන්නය සඳ

හා ගොවීන්ට බෙදාදිය හැකි බවට සහ යූරියා මිටියක් රුපියල් 10,000ක මුදලකට ලබාදිය යුතු බවටද මත පළ විය. මේ ප්‍රවෘත්තිය ගොවීන්ගේත් පොදුවේ ජනතාවගේත් ප්‍රසාදයට හේතු වී තිබිණි.

එහෙත් ඉන්පසුව නව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ඊට ඉඳුරාම වෙනස් අදහසකි. අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අනුව යල කන්නයට ගොවීන්ට ලබාදීමට මේ දක්වා ආණ්ඩුව පොහොර ගෙනැවිත් නැත. අඩුම තරමින් එවැනි පොහොර එවීමක් සම්බන්ධයෙන් ඉන්දියාවේ සූදානමක්ද නැත. මේ නිසා යල කන්නයට පොහොර ලබාදීම ගැන විශ්වාසයක් නැත. එසේම අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ යල කන්නයට මහන්සි වීමෙන් ප්‍රතිඵලයක් නැති බවය. ලබාගත හැකි වන අස්වැන්න සියයට 50 ක් පමණ වනු ඇති බවට ඔහු අනාවැකි පළ කරයි.

අමාත්‍යවරයාගේ කතාවට අනුව ඉන්දියාවෙන් ලංකාවට පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලැබෙන බවට කර ඇති ප්‍රකාශය ටොම් පචයකි. අඩුම තරමින් ආණ්ඩුව යූරියා පොහොර හොණ්ඩරයක්වත් ගෙන්වා නැත. එවැනි තත්ත්වයක් තිබියදී රටේ ගොවි ජනතාව තුළ බොරු බලාපොරොත්තුවක් ඇති කිරීමට කටයුතු කළෝ කවරහුද යැයි වහාම සොයා බැලිය යුතුය. මෙය ආණ්ඩුවට දුන් ජාත්‍යන්තර ලණුවක්ද නැතහොත් ජනතාවගේ සිත් පහන් කරනු පිණිස ප්‍රචාරය කෙරුණු සිත නිවන කතාවක්ද යන්න මුලින්ම තෝරාගත යුතුවෙයි. මෙය රටේ කෘෂිකර්මය සම්බන්ධයෙන් සිදුකෙරුණු බරපතළ රැවටීමක් බැවිනි.

ඔක්තෝබර් වනවිට ලෝක ආහාර අර්බුදයක් එන බවට සිදුකෙරෙන අනාවැකි මැද ශ්‍රී ලංකාව මෙවැනි ඉරණමකට මුහුණ දීම සම්බන්ධයෙන් සියලු‍ දෙනා තුළ සාධාරණ බියක් පහළ වීම වැළැක්විය නොහැක. අමාත්‍යවරයාම පවසන පරිදි පවතින තත්ත්වය යටතේ ඉදිරි මාස තුනක කාලය තුළදී රටේ වී මිල සිතාගත නොහැකි මට්ටමින් ඉහළ යනු ඇත. සහල් මිලටද අත්වනු ඇත්තේ එම ඉරණමය. සැප්තැම්බර් මාසය වනවිට රටේ අස්වැන්න බරපතළ කඩා වැටීමට ඇත්තේ ලොකු ඉඩකි. මෙවැනිම ආහාර හිඟයක් අනාගතයේදී ඇතිවිය හැකි බවට සිදුකෙරෙන පුරෝකථන හේතුවෙන් වෙනත් රටවලින් සහල් ගෙන්වා ගැනීමද ඉතා දුෂ්කර තත්ත්වයකට තල්ලු‍ වීම වැළැක්විය නොහැක. එසේ වුවහොත් අවශ්‍ය සහල් ප්‍රමාණය යන්තමින් හෝ පිරිමසා ගැනීමට ඉන්දියාව වැනි රටවල් ඉදිරියේ වැඳවැටීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.

මෙහිදී පෙන්වා දිය යුත්තේ රටේ පවතින ආහාර අර්බුදය අහම්බෙන් ඇතිවූවක් නොව ආණ්ඩුව මගින් ගන්නා ලද අදූරදර්ශී තීන්දු තීරණ හේතුවෙන් සිදුවූවක් බවය. මැයි 18 වැනිදා අල් ජසීරා නාළිකාවේ එක් සිරස්තලයක් වූයේ ශ්‍රී ලංකාවේ ගොවීන් වගාව අත්හැරීම හේතුවෙන් මිනිසා විසින් නිර්මාණය කරගන්නා ලද ආහාර අර්බුදයකට මුහුණ දී සිටින බවය. වරක් කෘෂිකාර්මික වශයෙන් ස්වයං පෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතහැර කාබනික පොහොර භාවිතයට ගනු ලැබූ සැලසුමකින් තොර තීරණය හේතුවෙන් ආහාර සැපයුම වේගයෙන් කඩා වැටුණු බවද එහි සඳහන් විය. එසේම මැයි 15 සහ 16 දෙදින තුළ එංගලන්තයේ ෆයිනෑන්ෂල් ටයිම්ස්, ද සන්ඩේ ටයිම්ස් පුවත්පත්වලද 14 වැනිදා ද ඉකොනොමිස්ට් පුවත්පතද ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළ ආර්ථික අර්බුදයේ ගමන් මග සම්බන්ධව මත පළකර තිබිණි. එයින් වත්මන් ආණ්ඩුව මගින් ගනු ලැබූ වඩාත්ම විනාශකාරී තීන්දුව වශයෙන් හඳුන්වා තිබුණේ කාබනික වගාවට එක රැයින් මාරුවීමය. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය තහනම හේතුවෙන් සහල් නිෂ්පාදනය කඩා වැටී මිල ගණන් ඉතා ඉහළ ගිය බවද එම වාර්තාවල සඳහන් වී තිබිණි.

වත්මන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාද ඉහත සඳහන් විනාශකාරී තීන්දු ගත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකි. ඔහු ඒ දිනවල මේ තීන්දු වෙනුවෙන් පෙනී සිටියා මිස එහි ආදීනව පෙන්වාදීමට ඉදිරිපත් වූයේ නැත. මෙරට කෘෂිකර්මය කරවටක් ගිලී නහයටත් උඩින් ගියාට පසුව වී මිල, සහල් මිල ගැන කතා කිරීමෙන් පලක් නැත. රසායනික පොහොර භාවිතය එක රැයින් අතහැරීමට ගත් විනාශකාරී තීන්දුව සාධාරණීකරණය කළ හිටපු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ අමාත්‍යවරයාද ඇතුළු එවකට සිටි සියලු‍ අමාත්‍යවරුන් මේ බරපතළ ඛේදවාචකයේ වගකීම භාරගත යුතුය. රසායනික පොහොර ගෙන්වාදීම හැර වෙනත් විකල්පයක් නැති බව දැන්වත් තේරුම් නොගත්තොත් සිදුවනු ඇත්තේ මහත් විනාශයකි.

 

 

logo

අටුලුගම ෆාතිමා අයිෂා දැරියගේ මරණයෙන් කියවෙන්නේ රට තුළ අපේ දරුවන් ඉදිරියේ ඇති බරපතළ ඛේදවාචකයයි. අයිෂා ගේ සිද්ධිය දරුවන් පිළිබඳ පළමු අපරාධය නොවන අතර එය අවසන් අපරාධය වීමට ද පුළුවන්කමක් නැත. දරුවන් පිළිබඳ අනාරක්ෂිත බව, අවදානම හා කම්පනය දිනෙන් දින වර්ධනය වෙයි. අපරාධයක් සිදු වී වැඩිකලක් ගත වීමට පෙර ඊටත් වඩා දරුණු අපරාධයක් සිදු වෙයි. මෙතරම් බණ භාවනා ඇති රටක, නීති ප්‍රතිසංස්කරණ ඇති රටක හා දරුවන් පිළිබඳ මහා ඉහළින් සංවාද පවත්වන රටක දරුවකුට පාරට බැස තමන්ගේ කටයුත්තක් කරගෙන ආපසු ගෙදර එන්න අවස්ථාවක් නැති නම් අප එම අවනඩුව කිව යුත්තේ කාට ද?

අතුරුදන් වූ අයිෂා දැරියගේ මළ සිරුර හමු වන්නේ අටුලුගම ආසන්නයෙහි වූ මඩ වගුරකින්ය. අහිංසක දැරියන් ඝාතනය කොට මේ අයුරින්ම මඩවගුරුවල, ගංගා ඉවුරුවල, බෝක්කුවල දමා ගිය අවස්ථා ගණනාවක් පිළිබඳ මතකයන් අපට තිබේ. එබඳු සිද්ධියක් සමඟ මුළු රටම කම්පාවට පත් වන අතර, ඉතා සුළු කාලයකින් එය සමාජයට අමතක වෙයි. නැවත එම කම්පනය ඇති වන්නේ අලුත් සිද්ධියක් සමඟය. අපි ඉතා ඉක්මනින් බොහෝ දේවල් අමතක කර දමන්නෙමු. අද අයිෂා වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටිති. එහෙත් හෙට - අනිද්දා වන විට එය තවත් සිද්ධියක් පමණි. මේ නොසැලකිල්ල නිසා දරුවන් පිළිබඳ අවදානම වැඩි වී ඇතැයි අපට සිතේ.

අයිෂාගේ අපරාධයට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් දීමට ක්‍රියා කරන බවට සහතිකයක් ජනාධිපතිවරයා විසින් දී තිබේ. එය යහපත් තත්ත්වයක් සේ සැලකිය හැකිය. රාජ්‍ය නායකයා එබඳු සඳහනක් කරන විට විමර්ශන සිදු කරන ආයතන හා නිලධාරින් යථෝක්ත සිද්ධිය බරපතළ ලෙස සලකා බලන්නටත් විමර්ශන පුළුල් කිරීමටත් යුහුසුලු වනු ඇත. අපරාධයේ මූලික විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදා ඇති බව පොලිස්පතිවරයා කියා සිටී. කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය ද අපරාධය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සියල්ල හොඳ දේවල් බව කිව යුතුය. එලෙසම මීටත් වඩා සංකීර්ණ අපරාධ සිදුවීම් විමර්ශනය කොට සාක්ෂි සහිතව අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය සමත් වී ඇති බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.

 මේ සිද්ධියත් සමඟ අපගේ අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් තිබේ. පළමුවැන්න: මාපියන් සිය දරුවන් උදෙසා දක්වන සැලකිල්ල හා අවධානය ප්‍රමාණවත් ද යන්නය. දෙවැන්න: දරුවන් උදෙසා ක්‍රියාත්මක වන ආයතන හා සංවිධාන ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් ගනු ලබන නව පියවර කුමක් ද යන්නය. තෙවැන්න: පොදුවේ වැඩිහිටි සමාජය දරුවන් උදෙසා දක්වන ආකල්ප කුමක්ද යන්නය. සමස්ත සමාජයම දරුවන් උදෙසා නව වැඩපිළිවෙළකට යා යුතු බවක් අපට හැඟෙයි. රටේ පවත්නා අර්බුද හමුවේ දරුවන් සඳහා දක්වන අවධානය ගිලිහී ගිය හොත් මීට වඩා බරපතළ අපරාධ ඉදිරියේදී සිදු විය හැකිය. සමස්ත සමාජයම බලවත් නොසන්සුන්තාවක ගිලී ඇති බැවිනි.

අයිෂා දැරියට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජය විවිධ ප්‍රතිචාර දක්වා ඇත. වැඩි දෙනකුගේ මතය වී ඇත්තේ ළමයින් ගොදුරු කර ගත් අපරාධවලට දැඩි දඬුවම් දිය යුතු බවය. කෙනෙක් ඒ සඳහා අරාබි නීතිය උපුටා දක්වති. හොරාගේ අත් කැපිය යුතුය. ලිංගික අපරාධ කරන පුද්ගලයාගේ ලිංගේන්ද්‍රිය කපා දැමිය යුතුය. මානව හිමිකම් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාල පරිච්ඡේදයක් පසු වන ශ්‍රී ලංකාවට එබඳු නීති ක්‍රියාත්මක කළ හැකි ද යන්න ගැටලුවකි. කෙසේ වුව ළමා අපරාධ වැඩි වී ඇත්තේ දඬුවම් ලිහිල් නිසා යැයි කියන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැකිය. ළමා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වසර කිහිපයක් සිරගත වී සිට නැවත සමාජගත වන ආකාරය දැක ගත හැකිය.

දරුවන් දූෂ්‍ය කොට මරා දැමීම හා වධහිංසා පමුණුවා පසුව මරා දැමීම ලොව ඇති දරුණුම අපරාධයක් සේ සැලකිය හැකිය. බෞද්ධ රාජ්‍යයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම එම අපරාධ සිදු වන්නේ නම් සමස්ත සමාජයම අවදි වී එය වළක්වා ගත යුතුය. ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනයට ඉටු කළ හැකි නිසි සාධාරණය ද වන්නේ එයමය.

 

editorial 1

 

තෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇත. පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ ගිය විට පොල් තෙල් මිලද ඉහළ යයි. බැලූ බැල්මට මෙය ටිකක් අභව්‍ය කාරණයකි. පොල් තෙල් එන්නේ මැද පෙරදිගින් නොවේ. එය ඛනිජ තෙලක් ද නොවේ. එහෙත් ඉන්ධන මිල වැඩි කළ විට සියලුම ප්‍රවාහන ගාස්තු ඉහළ යයි. මේ නිසා බඩු සියල්ලෙහිම මිල ද නගී. අපේ රටේ බඩු මිල ඉහළ යෑමට සදාකල්හිම කුමක් හෝ හේතුවක් තිබිණ. එක්කෝ වැස්ස නිසා එළවළු මිල නගී. නැත්නම් අව්ව නිසා වගා පාළු වී එළවළු මිල නගී. එක්කෝ රසායනික පොහොර නැති නිසා සහල් මිල නගී. එහෙමත් නැත්නම් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යෑම නිසා තෙල් මිල නගී. මේ අනුව ඛනිජ තෙල් සහ පොල් තෙල් අතරත් ඛනිජ තෙල් සහ මිනිස් ජීවිතය අතරත් ඇති සම්බන්ධය වටහා ගැනීම පහසු ය. දැනට තිබෙන ආරංචියට අනුව සෑම දෙසතියකටම වරක් ලෝක තෙල් මිලට සාපේක්ෂව මෙරටට ගෙන්වන තෙල්වල විකුණුම් මිල පුනරීක්ෂණය කරනු ලැබේ. ආණ්ඩුව මෙයට කියන්නේ මිල සංශෝධනය යනුවෙනි. මේ මිල සංශෝධනයේදී ලංකා ඉතිහාසයේ අවස්ථා එකකදී හෝ දෙකකදී හැර අන් කිසි දවසක ඛනිජ තෙල් මිල අඩු වූයේ නැත. සති දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි වීමට පටන් ගත්තොත් මතු යම් දිනයකදී වාහනේ වටිනාකමට වඩා වැඩි මිලක් තෙල් ලීටරයක් වෙනුවෙන් ගෙවන්නට සිදුවනවා ඇත. ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල කළමනාකරණය කර ගැනීම සඳහා ආණ්ඩුව කියන්නේ අත්‍යවශ්‍ය අය පමණක් සේවයට පැමිණීම ප්‍රමාණවත් බවය. මිනිසුන් වැඩට එන්නේ සාමාන්‍යයෙන් වැඩට එන අය, වැඩට පැමිණීම අවශ්‍ය අය සහ වැඩට පැමිණීම අත්‍යවශ්‍ය යනාදී වශයෙන් කොටස් තුනකටය. සාමාන්‍යයෙන් වැඩට එන අය සහ වැඩට ඒම අවශ්‍ය අය යන දෙගොල්ල ඉවත් කළ විට ඉතිරි වෙන්නේ අත්‍යවශ්‍ය සුළුතරයයි. මේ සුළුතරයෙන් රටක් ඍමබ කළ හැකි නම් එය ඉතා යහපත්ය. මේ තත්ත්වය ආදර්ශයට ගනිමින් අත්‍යවශ්‍ය අය පමණක් ආහාර ගත යුතු බවට අවසාන නිවේදනයක් නිකුත් කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබේ. එවිට ඉතින් දෙකෙන් එකක් වෙන්නේ නැතෑ!

 මේ වෙලාවේදී මුළු ලෝකයම ආහාර සහ ඉන්ධන අර්බුදයකට මැදිව සිටී. මේ අර්බුදයේ ඉහළින්ම සිටින රටවල් දෙක ලෙස ඇෆ්ගනිස්තානය සහ ලංකාව හඳුනාගෙන ඇත. හැම කාරණයකදීම දෙවැනියා හෝ තුන්වැනියා හෝ ඊටත් පහළින් සිටීමට සිද්ධ වී ඇති ලංකාවට මේ කාරණයේදී ලැබෙන්නේ ද දෙවැනි තැනය. ශ්‍රී ලංකාව කෙළවා ගත් පරිදි ආර්ථිකය අවුල් කර ගැනීමෙන් වළකින ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජියෝජියේවා මීට තුන් දිනකට පෙර සඳහන් කළාය. ලොව පුරා පැතිර ගිය කොවිඩ් 19 වසංගතය සහ මෑත කාලීන යුක්‍රේන අර්බුදය හේතුවෙන් ලෝක ආර්ථික අර්බුදය දරුණු වූ බව ඇගේ මතය වේ. ලෝකයේ වෙනත් රටවල ආර්ථිකය දරුණු වීමේ අවුල හටගත්තේ මේ මෑතකදීය. කොවිඩ් 19 න් පසු සෙසු රටවල් ක්‍රමයෙන් හිස ඔසවා ස්ථාවර බවට පත්වූහ. එහෙත් අප දන්නා කාලයේ සිටම මේ රටේ ආර්ථිකය තිබුණේ ළිං පතුලකය. 1948 මේ රටට නිදහස ලැබුණු දින සිට හැමදාම ආර්ථිකය පරිහානියට පත් විය. ඉස්සර අපේ කලිසමේ පිටුපස සාක්කුවේ හදිසියකට ගැනීම සඳහා කිසියම් මුදලක් තිබිණ. දැන් ඒ සාක්කුවේ කිසිදු මුදලක් නැති අතර හදිසියකදී සිදුවන්නේ කලිසම ගලවා විකිණීමටය. රටක් වශයෙන් ගත්කල තත්ත්වය ද මෙයමය. 1948 දී සුද්දන් රට භාර දී ලංකාවෙන් යන විට ශ්‍රී ලංකාවේ රජය සතුව නිධන් අරමුදල නමැති අරමුදලක් විය. ඇමරිකන් මහ බැංකුවේ අධිපති මණ්ඩලයේ සාමාජිකයකු වූ ජෝන් එක්ස්ටර් ලක් රජයේ ආරාධනයෙන් මෙහි පැමිණ ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටු වූ පසු එම අරමුදල තවත් තර විය. රටේ හදිසි ආපදා අවස්ථාවකදී මුදල් ලබා ගන්නා ලද්දේ මේ කියන නිධන් අරමුදලෙනි. 1977 ජේ. ආර්. ජයවර්ධන බලයට පැමිණ විවෘත ආර්ථිකය රට තුළට පැමිණි වහාම මේ නිධන් අරමුදල කඩා බිඳ දමන ලදී. ජෝන් එක්ස්ටර් මිය යන්නේ 2006 දීය. තමා බිහිකළ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිධන් අරමුදල තම ඇස් ඉදිරිපිටම කඩා වැටෙනු දුටු මේ සුද්දාට මොනවා හිතෙන්නට ඇද්ද? දැන් නිධන් අරමුදලත් නැත. හදිසියකට ගැනීම සඳහා සත 50 ක්වත් ඉතිරි කරගෙනත් නැත. නිදහසින් පසු මේ රටේ පහළ වූ හැම ආණ්ඩුවක්ම මේ ආර්ථික පරිහානියට වගකිවයුතු බව අගමැති රනිල් වික්‍රමසිංහත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් නිතර කියති. මෙය ඇත්තම කතාවකි. කිසිසේත්ම නිවැරදි කර ගැනීමට නොහැකි වරදකි.

 පිළිසරණක් නැතිව නන්නත්තාර වූ අනාථයකුට ආධාර කරමින් ඔහු හෝ ඇය ජීවිතාන්තය තෙක් රැකබලා ගැනීමට කැමති අය ලෝකයේ සිටිති. එහෙත් කුඩු ගසා ක්ලබ් ගාණේ ගොස් රති කෙළියේ යෙදී දිගටම පිස්සු කෙළින අනාථයකු බලා ගැනීමට කව්රුත් සූදානම් නැත. මේ රට පෙරකී දෙවැනි වර්ගයේ අනාථයෙකි.

 

logo

ආහාර අර්බුදයක් පිළිබඳ පුරෝකථන ගණනාවක් පළ වී ඇත. මේ අතර ආණ්ඩුව එම අවදානම බරපතළ ලෙස ගනිමින් ඊට පෙර සූදානමක් ඇති කරන බව ද පෙනී යයි. මේ සමඟ අපගේ සිහියට නැගෙන්නේ සහලින් ස්වයංපෝෂිතව තුන්වේල බත් කා පිටරටට සහල් නිර්යාත කළ රටක් ආහාර අර්බුදයකට මුහුණ දීමට බලපෑ හේතුව කුමක් ද? යන්නය. කෘෂිකර්මය සම්බන්ධයෙන් අතීතයේ සිට පැවැති රටාව වෙනස් වී ඇත. ඇතැම් පාලකයන් කාර්මිකකරණයට හා විවෘත වෙළෙඳපොළට වහල් වී වගාව නොසලකා හළ අතර තව පාලකයෝ කෘෂිකර්මය වෙනස් කිරීමට ගොස් පොට වරද්දා ගත්හ. මේවා අප අතින් සිදුවූ වැරැදි බව නූතන පාලකයන් වටහාගෙන තිබේ. එය එක් අතකින් වාසනාවකි.

වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාරය වන සහල් ගිනි ගණන්ය. ඒ හැරුණු කොට වෙළෙන්දෝ තම සිතැඟි පරිදි සහල් මිල තීරණය කරති. පාන් ගෙඩියක මිල එක්වරම ඉහළ ගියේය. තිරිඟු පිටි, එළවළු, පලතුරු යන කොයි දේත් ගණන්ය. එක් අතකින් ආහාර නිෂ්පාදනය අඩු වී ඇත. තව අතකින් ප්‍රවාහනය හා බෙදා හැරීම අවුල්ය. තවත් අතකින් වෙළෙඳපොළ හැසිරීම අන්තිම නරකය. මේ සෑම දෙයකින්ම තැළෙන්නේ පොඩි වන්නේ අහිංසක දුප්පත් මිනිසාය. වකුගඩු රෝගියාට රජයෙන් දෙන ආධාරය පවුලේ කෑම බීම සඳහා වියදම් කිරීමට සිදු වී ඇත. රටේ පවත්නා ඇත්ත තත්ත්වය එයින් වටහා ගත හැකිය.

අපට දුප්පත්කම අලෙවි කරන්න පුළුවන. ඒ වෙනුවෙන් සැර විවේචන ඉදිරිපත් කරන්නත් පුළුවන. ආණ්ඩුවට එරෙහිව පෙළපාළි යන්නටත් පුළුවන. එහෙත් මේ එකක්වත් ගැටලුවලට විසඳුම් නොවේ. ඒවායින් සිදු වන්නේ කාලය කා දැමීම හා අර්බුදයේ දිග පළල වැඩි කිරීමය. සුද්දා මේ රට හැඳින් වූයේ රත්තරන් භූමියක් හැටියටය. වියළි දණ්ඩක් පොළොව මතට දැමුව හොත් එය දලු ලා වැඩෙන සාරවත් පසක් අපට ඇති බව සුද්දා පෙන්වා දී ඇත. අපේ අතීත මිනිසා එයින් උපරිම ඵල නෙළා ගත්ත ද නූතන මිනිසා එයින් දුරස්ය. පුරන් කුඹුරු අක්කර සිය ගණනක් රටේ පවතී. හිස් ඉඩම්, මුඩු ඉඩම් සෑම පළාතකම තිබේ. මේවායින් නිසි ප්‍රයෝජන ගත හොත් තව පරම්පරා ගණනකට ආහාර ගැටලුවක් ඇති වන්නේ නැත.

රටක ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම ආහාර සුරක්ෂිතතාව යන කාරණා සම්බන්ධයෙන් ස්ථාවර වැඩපිළිවෙළක් හා ප්‍රතිපත්තියක් තිබිය යුතුය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට කෘෂිකාර්මික ප්‍රතිපත්තිය වෙනස් වුව හොත් රටේ වගාවන් ස්ථාවරව පවත්වා ගැනීම දුෂ්කර වෙයි. එය කෘෂිකර්මයේ පිරිහීමට හේතුවකි. සමහරුන්ගේ මතයට අනුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ ආරම්භ කළ වගා සංග්‍රාමය දිගටම පැවතුණා නම් මේ වන විට අපේ රට ආහාර අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි. එදා දේශීය ගොවිතැනට උපරිම රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. ආහාර ආනයනය තහනම් කැරිණි. දේශීය ගොවියා පොහොසත් විය. යාපනයට ගිය මැතිනිය පිළිගැනීම සඳහා මිරිස් මාලයක් පැලැන්දූ බව අපි කවුරුත් දනිමු. වත්මන් ආණ්ඩුවේ අදහස වී ඇත්තේ අප නැවත වගා සංග්‍රාමයක් වෙත යා යුතු බවය. එය බුද්ධිමත් තීරණයක් බව පෙන්වා දිය යුතුය.

කෘෂිකර්මය හා ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. මේ කමිටුවේ පළමු කාර්යය වන්නේ රටේ ආහාර නිෂ්පාදනය, සැපයීම හා බෙදා හැරීම සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තා කිරීමය. එම වාර්තාවල තත්ත්වයට අනුව වගා සංග්‍රාමය පිළිබඳ ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතය. ඉදිරි කන්නයේ වී වගාවට සිදු වන්නේ කුමක් ද? රටට අවශ්‍ය මුළු සහල් තොගය එම කන්නයෙන් ලබා ගත හැකි ද? යන කරුණු මෙහිදී විශ්ලේෂණය කරනු ලැබේ. ආහාර අර්බුදයක් ඇති වීමට නියමිත නම් වහාම සාධක දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. පළමුවැන්න ආහාර සුරක්ෂිතතාවයි. දෙවැන්න වගා සංග්‍රාමයයි.

රටේ සමස්ත භූමිය ග්‍රාමීය අංශයට, නාගරික අංශයට හා වතු අංශයට බෙදා වෙන් කළ හොත් වගා බිම් ඇත්තේ ග්‍රාමීය අංශය තුළය. ජනගහනයෙන් වැඩි පිරිස ද එම අංශය තුළ ජීවත් වෙති. ග්‍රාමීය අංශයේ සෑම පුරවැසියකුම පාහේ යම් පමණක ගොවියෙකි. එලෙසම වගා කළ හැකි සුළු හෝ බිම්කඩක් මේ සෑම පුරවැසියකුටම තිබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමයේ විශාල ගෙමිදුල්වල මිරිස් හා එළවළු වගා කැරිණි. එයින් පවුලක ජීවන බර පිරිමසා ගත හැකි විය. ලිබියාවේ ගඩාෆි පාලන සමය තුළ කුකුළු මස් හා බිත්තර පිළිබඳ අර්බුදයක් මතු විය. ඊට විසඳුමක් ලෙස තට්ටු නිවාසවල කුකුළන් ඇති කිරීමට අවසරය දුනි. එය සාර්ථක පියවරක් වූ අතර ලිබියාවේ මස් හා බිත්තර අර්බුදයට කදිම විසඳුමක් විය.

වුවමනාවක් හා කැප වීමක් ඇතොත් අපේ ආහාර අර්බුදය ඉතා ඉක්මනින් විසඳා ගත හැකිය. ආණ්ඩුව පමණක් නොව ජනතාව ද ඊට සූදානම් විය යුතුය. ආණ්ඩුව ජනතාවට උත්තේජකයක් දුන්නොත් අපේ ජනතාව අවදි වී වහලය මත පවා වගා කරන්නට පටන් ගන්නවා ඇත.

ලංකාවේ අනාගතය පිළිබඳ මේ දිනවල බොහෝ පුරෝකථන සිදුවෙමින් තිබේ. හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් වීමෙන් පසුව දින කිහිපයක් ඉක්ම යද්දී එම පුරෝකථනවල බර වැඩි විය. ඒ අතුරින් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කළ ප්‍රකාශය කැපී පෙනෙයි.

හැකි ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවා රටේ දේශපාලන ස්ථාවරත්වයක් නිර්මාණය කළ යුතු බවත් එසේ නොකළහොත් සතියක් දෙකක් බලා තමා ධුරයෙන් ඉවත් වන බවත් ප්‍රකාශයට පත් කරමින් ඔහු සඳහන් කර තිබුණේ රටක දේශපාලන සහ සමාජමය අස්ථාවරත්වයක් තිබෙන තත්ත්වයක් තුළ කිසිදු ජගතකුට ආර්ථිකය ගොඩ දැමිය නොහැකි බවය. තමා මේ සම්බන්ධයෙන් රටේ නායකයන්ටද වෙනත් වගකිවයුතු පාර්ශ්වවලටද දන්වා තිබෙන බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය භාරගත්තේ රටේ ආර්ථිකය තිරිංග නොමැති වාහනයක් පල්ලමක් බසින තත්ත්වයක් පවතිද්දී බව නොරහසකි. ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් වී දින කිහිපයකදී ඉතා වැදගත් දැඩි තීන්දු ගණනාවක් ගනිමින් යන්තමින් වාහනය පල්ලමට යා නොදී තිරිංග යෙදීමට සමත් වූ බව රටටම දැනුණි. රටේ බැංකු පද්ධතිය පිළිබඳ සමස්ත රට තුළ පැවති අවිනිශ්චිතභාවය තුනී කිරීමට ආචාර්ය වීරසිංහ මහතා විසින් ගන්නා ලද එම තීරණ හේතු වූ බව මේ රටේ ආර්ථික විශ්ලේෂකයන් ගණනාවකගේ මතය විය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ද සාකච්ඡා අරඹා වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩනැගීම පිළිබඳ යම් බලාපොරොත්තුවක්ද ඇති කළේය.

ධුරය භාරගෙන කෙටි කාලයක් තුළදී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එවැනි සාධනීය පියවර ගණනාවක් ගත් නව මහ බැංකු අධිපතිවරයා රටේ දේශපාලන ස්ථාවරභාවය පිළිබඳ පළ කරන මතය කෙරේ රටේ දේශපාලන අධිකාරියේ අවධානය වහාම යොමුවිය යුතුය. මේ අන්දමින් අස්ථාවර ආකාරයකින් රටට ඉදිරි ගමනක් නැත. අග්‍රාමාත්‍යවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලයකින් තොරව රට මේ අන්දමට තව දින කිහිපයක් පැවතියහොත් රට තුළ ඉන්ධන හිඟය, ගෑස් හිඟය සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය තවදුරටත් උග්‍ර වනු ඇති බවටද මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවා තිබිණි.

කෙසේ වුවද ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ඉහත අදහස් දැක්වූ දිනයේම රාත්‍රියේ ජාතිය අමතමින් ප්‍රකාශයක් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයකු සහ අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළදී පත් කරන බව සඳහන් කළේය. එම ප්‍රකාශයට අනුව යමින් නව අග්‍රාමාත්‍යවරයකු බ්‍රහස්පතින්දා (12) පස්වරුවේ දිව්රුම් දීමට සූදානමක් ඇති බව මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් විය. එය එසේ සිදුවීම රටේ යහපතට හේතු වන බව අමුතුවෙන් කිවයුතු නැත. අගමැතිවරයා ඊයේ සවස දිවුරුම් දුන්නේය.

නව මහ බැංකු අධිපතිවරයාද පත්කර ගනිමින් රට පුරා ඇතිවෙමින් තිබූ පෝලිම් ඇතුළු සමස්ත ආර්ථික අර්බුදයටම විසඳුම් සෙවීමේ මාර්ගයකට අවතීර්ණ වෙමින් සිටී. රටම කණපිට පෙරළුණේ ගාලු‍මුවදොර සාමකාමී අරගලයට සිදු කළ පාදඩ ප්‍රහාරය හේතුවෙනි. අඳබාල දේශපාලන තකතීරුවන් පිරිසකගේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණු එම මෘග ප්‍රහාරයත් ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී වාතාවරණයත් මේ රටේ දේශපාලන සහ ආර්ථික අර්බුදය ගොඩගැනීමට අමාරු අගාධයකට තල්ලු‍ කර දමා තිබේ. ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආදී ආර්ථිකය නැංවීමට ගත් ශුභවාදී උත්සාහය එම සිද්ධි මාලාවෙන් ආපස්සට ගිය බවය. එසේ ආපස්සට ගිය උත්සාහයන් සියල්ල යළි ඉදිරියට හරවා ගැනීම අලු‍තින් පත්වෙන ආණ්ඩුවේ මුල්ම ඉලක්කය විය යුතුය. එසේ නොවුණහොත් ඉතා අමාරුවෙන් ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගන්නා සෑම උත්සාහයක්ම අසාර්ථක වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා කර ඇති පුරෝකථනය අලු‍ත් ආණ්ඩුවකට කදිම මගපෙන්වීමක් කර තිබෙන බවද සඳහන් කළ යුතුය.

මේ රටේ මූල්‍ය පාලන බලතල හිමි පාර්ලිමේන්තුවට මේ දිනවල දොරගුළු වැටී තිබේ. එකදිගට රටේ සිදුවූ අරගල, ආවේගශීලී ජනතා නැගිටීම් හේතුවෙන් ඉතා උණුසුම් වූ පාර්ලිමේන්තුවේදී රටේ ප්‍රශ්න විසඳාගැනීමට කිසිදු හරවත් කතාවක් සිදු නොවීය. අවසානයේ ගාලු‍මුවදොර ම්ලේච්ඡ ප්‍රහාරයත් සමඟ ඇතිවූ කලහකාරී තත්ත්වය මගින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පවා ඉතා අවිනිශ්චිත තත්ත්වයකට වැටී තිබේ. උද්ගතව තිබෙන දේශපාලන සහ ආර්ථික අර්බුදය විසඳාගැනීමට ආණ්ඩුවක අවශ්‍යතාව තදින්ම දැනෙන මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව නිහඬ වීම රටේම අවාසනාවකි.

රට ගොඩනැගීමට නම් මොන උප්පරවැට්ටියක් දමා හෝ ආර්ථිකය කෙළින් සිටුවිය යුතුය. ඒ සඳහා වඩාත්ම අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ. එම අදහසට අනුව ක්‍රියාත්මක වීමට ජනාධිපතිවරයාටත් අලු‍තින් පත්වන අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයටත් හැකි විය යුතුය. එසේ වුණොත් රට පිළිබඳ ශුභවාදී අදහසක තවදුරටත් රැඳී සිටීමට අප කාටත් හැකිවනු ඇත.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කථාව රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. පවත්නා අර්බුදයෙන් රට මුදාගෙන යළි ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම සඳහා රාජ්‍ය නායකයා විසින් ගනු ලබන ක්‍රියාමාර්ග එම කථාවෙහි ඇතුළත්ය. එය විවේචනයට ලක් කරන්නට පෙර සිහි නුවණින් යුතුව යථෝක්ත වැඩපිළිවෙළ විමසා බැලීමට තරම් අප කාරුණික විය යුතුය. මේ වන විට සමාජය තුළ ඇත්තේ සියල්ල විවේචනය කරන හා සියල්ල ප්‍රතික්ෂේප කරන නිෂේධනීය තත්ත්වයකි. සමහරු එම ආස්ථානය ද ඉක්මවා යමින් සියල්ල විනාශ කරන තැනකට තල්ලු වී සිටිති. එය රටේ තත්ත්වය වඩාත් සංකීර්ණ කරයි.

රාජ්‍ය නායකයාගේ කථාව විමසුමට ලක් කළ හොත් එහි ප්‍රධාන කරුණු හතරක් සංගෘහීත වන බව පෙනෙයි. පළමුවැන්න මේ මොහොතේ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පියවර ගනිමින් මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට විධිමත් පියවර ගන්නා බවය. දෙවැන්න දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීම හා රාජ්‍ය පාලනය යථාවත් කිරීම සඳහා කාගේත් පිළිගැනීමට ලක් විය හැකි තාවකාලික ආණ්ඩුවක් පිහිටුවීමය. තෙවැන්න පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා දහ නව වන ව්‍යවස්ථාව යළි බලගැන්වීමට ප්‍රතිඥාවක් දීමය. හතරවැන්න මේ ක්‍රියාවලිය බලගැන්වීම සඳහා මහජනයාගේ පූර්ණ සහයෝගය ඉල්ලා සිටීමය. මෙහිලා මහජනයාගෙන් ලැබෙන සහයෝගය අතිශයින්ම වැදගත් වෙයි. මහජන සහයෝගයකින් තොරව පවත්නා අර්බුදය ජය ගත නොහැකි බව රාජ්‍ය නායකයා වටහාගෙන තිබේ.

මේ මොහොතේ ප්‍රධාන කාර්යය බවට පත්ව ඇත්තේ ප්‍රචණ්ඩත්වය වළක්වා මහජන ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනීමය. එහිම තවත් අංශයක් වන්නේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලු පාර්ශ්ව නීතිය හමුවට කැඳවීමය. සාධාරණ සමාජයක් තුළ එය අනිවාර්යයෙන්ම ඉටු විය යුතුය. ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහර දී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කළ පාර්ශ්වවලට තරාතිරම හා පක්ෂය නොසලකා දඬුවම් දීමට ක්‍රියා කරන බව සඳහන් කරන රාජ්‍ය නායකයා පළමු සිද්ධියෙන් පසු ප්‍රති-ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීමට සහභාගි වූ පාර්ශ්වයන් ද නීතිය හමුවට ගෙන එන බව කියා සිටී. මෙය අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. ප්‍රචණ්ඩ ක්‍රියා කුමන පාර්ශ්වයක් විසින් සිදු කරන ලද්දේ වුව, ඊට නීතිය ක්‍රියාත්මක විය යුතුය.

ගෙවී ගිය මාස තුනකට ආසන්න කාලය දෙස ආපසු හැරී බැලුව හොත් දේශපාලන අවුල ලිහා ගැනීම සඳහා රාජ්‍ය නායකයා අවංක ප්‍රයත්න ගණනාවක් ක්‍රියාත්මක කළ බව අප පිළිගත යුතුය. දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් අතර පවතින කඹ ඇදීම් නිසා ඒවායින් බහුතරය අසාර්ථක විය. දේශපාලන පක්ෂ හා නායකයන් අර්බුදය විසඳීමට වඩා තම පක්ෂයට තනි බලයක් ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව හා ඊට උපාය මාර්ග සොයන බව දැකගත හැකිය. එහෙත් මෙවර යම් එකඟතාවක් ගොඩනැඟී ඇති බව ද බහුතරයේ කැමැත්ත සහිත අගමැතිවරයකු තෝරා ගත හැකි පසුබිමක් නිර්මාණය වී ඇති බව ද දැනගන්නට ලැබේ. මෙය හොඳ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන්නට නායකයන් පෙලඹිය යුතුය.

විධායක ජනාධිපති ක්‍රමය පිළිබඳ සංවාදය බොහෝ කාලයක සිට පවතින්නකි. 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් වන විටද, ඒ පිළිබඳ දැඩි විවේචන ගොඩනැඟිණි. ආචාර්ය එන්.එම්. පෙරේරා විධායක ජනාධිපති ක්‍රමය හැඳින්වූයේ මෙරට දේශපාලනය මුළුමනින්ම අවුල් කරන සාධකයක් හැටියටය. එහෙත් දේශපාලකයන් මෙන්ම ජනතාව ද එම ක්‍රමයට අනුගත වූ අතර, එය ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය තනතුරක් හැටියට තර්කයක් ද ගොඩනැඟිණි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට දේශපාලන පොරොන්දු පැවතිය ද ඒවා ඉටු වූයේ නැත. ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලරාමුව තව දුරටත් පුළුල් වන අණ පනත් සම්මත කර ගැනීම සිදු විය. මේ තත්ත්වය මහජනයාගේ අප්‍රසාදයට ලක් වූ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු යනුවෙන් ප්‍රබල හඬක් මේ වන විට කරළියේ පවතී. රාජ්‍ය නායකයා ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර ව්‍යවස්ථානුකූලව එය ඉටු කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත. මෙය දේශපාලනයේ කදිම අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

මහ බැංකු අධිපතිවරයා දැක්වූ අදහසකට ඊළඟට අවධානය යොමු කළ යුතුය. මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය පිළිබඳ ගැටලුව සති දෙකක් තුළ විස‍ඳෙන්නේ නැත් නම් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බවය. එය තීරණාත්මක අවස්ථාවක් බව කිව යුතුය. මහ බැංකු අධිපතිවරයා සිය තනතුර හැර ගිය හොත් ආර්ථික අර්බුදය යළිත් පටන්ගත් තැනටම කඩා ව‍ැටෙන බව පිළිගත යුතුය. ඒ අනුව පක්ෂ නායකයන් වහා එකඟතාවකට පැමිණ, තාවකාලික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එය කල් නොහැර සිදු විය යුතු අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ වන විට ඒ පිළිබඳ සුභදායක තත්ත්වයක් වාර්තා වී ඇත. තාවකාලික ආණ්ඩුවේ අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද මහජන විශ්වාසය දිනාගත් පුද්ගලයන්ගෙන් සමන්විත වීම ඉතා වැදගත්ය. කෙසේ වුව ජනාධිපතිවරයා අර්බුදය විසඳා ගැනීමට සුදුසු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ. එය ක්‍රියාත්මක කිරීමට ඔහු උපරිම උත්සාහය ගන්නා බව පෙනෙයි. ඊට සහයෝගය දැක්වීම මේ මොහොතේ අප සතු වගකී‍මක් සේ සැලකිය හැකිය.