Tuesday, 31 May 2022 15:00

අයිෂාගේ කතා වස්තුව

 

 

logo

අටුලුගම ෆාතිමා අයිෂා දැරියගේ මරණයෙන් කියවෙන්නේ රට තුළ අපේ දරුවන් ඉදිරියේ ඇති බරපතළ ඛේදවාචකයයි. අයිෂා ගේ සිද්ධිය දරුවන් පිළිබඳ පළමු අපරාධය නොවන අතර එය අවසන් අපරාධය වීමට ද පුළුවන්කමක් නැත. දරුවන් පිළිබඳ අනාරක්ෂිත බව, අවදානම හා කම්පනය දිනෙන් දින වර්ධනය වෙයි. අපරාධයක් සිදු වී වැඩිකලක් ගත වීමට පෙර ඊටත් වඩා දරුණු අපරාධයක් සිදු වෙයි. මෙතරම් බණ භාවනා ඇති රටක, නීති ප්‍රතිසංස්කරණ ඇති රටක හා දරුවන් පිළිබඳ මහා ඉහළින් සංවාද පවත්වන රටක දරුවකුට පාරට බැස තමන්ගේ කටයුත්තක් කරගෙන ආපසු ගෙදර එන්න අවස්ථාවක් නැති නම් අප එම අවනඩුව කිව යුත්තේ කාට ද?

අතුරුදන් වූ අයිෂා දැරියගේ මළ සිරුර හමු වන්නේ අටුලුගම ආසන්නයෙහි වූ මඩ වගුරකින්ය. අහිංසක දැරියන් ඝාතනය කොට මේ අයුරින්ම මඩවගුරුවල, ගංගා ඉවුරුවල, බෝක්කුවල දමා ගිය අවස්ථා ගණනාවක් පිළිබඳ මතකයන් අපට තිබේ. එබඳු සිද්ධියක් සමඟ මුළු රටම කම්පාවට පත් වන අතර, ඉතා සුළු කාලයකින් එය සමාජයට අමතක වෙයි. නැවත එම කම්පනය ඇති වන්නේ අලුත් සිද්ධියක් සමඟය. අපි ඉතා ඉක්මනින් බොහෝ දේවල් අමතක කර දමන්නෙමු. අද අයිෂා වෙනුවෙන් බොහෝ දෙනා පෙනී සිටිති. එහෙත් හෙට - අනිද්දා වන විට එය තවත් සිද්ධියක් පමණි. මේ නොසැලකිල්ල නිසා දරුවන් පිළිබඳ අවදානම වැඩි වී ඇතැයි අපට සිතේ.

අයිෂාගේ අපරාධයට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් දීමට ක්‍රියා කරන බවට සහතිකයක් ජනාධිපතිවරයා විසින් දී තිබේ. එය යහපත් තත්ත්වයක් සේ සැලකිය හැකිය. රාජ්‍ය නායකයා එබඳු සඳහනක් කරන විට විමර්ශන සිදු කරන ආයතන හා නිලධාරින් යථෝක්ත සිද්ධිය බරපතළ ලෙස සලකා බලන්නටත් විමර්ශන පුළුල් කිරීමටත් යුහුසුලු වනු ඇත. අපරාධයේ මූලික විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදා ඇති බව පොලිස්පතිවරයා කියා සිටී. කාන්තා හා ළමා ආරක්ෂණ අධිකාරිය ද අපරාධය සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ. මේ සියල්ල හොඳ දේවල් බව කිව යුතුය. එලෙසම මීටත් වඩා සංකීර්ණ අපරාධ සිදුවීම් විමර්ශනය කොට සාක්ෂි සහිතව අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය සමත් වී ඇති බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.

 මේ සිද්ධියත් සමඟ අපගේ අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් තිබේ. පළමුවැන්න: මාපියන් සිය දරුවන් උදෙසා දක්වන සැලකිල්ල හා අවධානය ප්‍රමාණවත් ද යන්නය. දෙවැන්න: දරුවන් උදෙසා ක්‍රියාත්මක වන ආයතන හා සංවිධාන ළමයින්ගේ ආරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් ගනු ලබන නව පියවර කුමක් ද යන්නය. තෙවැන්න: පොදුවේ වැඩිහිටි සමාජය දරුවන් උදෙසා දක්වන ආකල්ප කුමක්ද යන්නය. සමස්ත සමාජයම දරුවන් උදෙසා නව වැඩපිළිවෙළකට යා යුතු බවක් අපට හැඟෙයි. රටේ පවත්නා අර්බුද හමුවේ දරුවන් සඳහා දක්වන අවධානය ගිලිහී ගිය හොත් මීට වඩා බරපතළ අපරාධ ඉදිරියේදී සිදු විය හැකිය. සමස්ත සමාජයම බලවත් නොසන්සුන්තාවක ගිලී ඇති බැවිනි.

අයිෂා දැරියට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාජය විවිධ ප්‍රතිචාර දක්වා ඇත. වැඩි දෙනකුගේ මතය වී ඇත්තේ ළමයින් ගොදුරු කර ගත් අපරාධවලට දැඩි දඬුවම් දිය යුතු බවය. කෙනෙක් ඒ සඳහා අරාබි නීතිය උපුටා දක්වති. හොරාගේ අත් කැපිය යුතුය. ලිංගික අපරාධ කරන පුද්ගලයාගේ ලිංගේන්ද්‍රිය කපා දැමිය යුතුය. මානව හිමිකම් කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාල පරිච්ඡේදයක් පසු වන ශ්‍රී ලංකාවට එබඳු නීති ක්‍රියාත්මක කළ හැකි ද යන්න ගැටලුවකි. කෙසේ වුව ළමා අපරාධ වැඩි වී ඇත්තේ දඬුවම් ලිහිල් නිසා යැයි කියන තර්කය පහසුවෙන් බැහැර කළ නොහැකිය. ළමා අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් වසර කිහිපයක් සිරගත වී සිට නැවත සමාජගත වන ආකාරය දැක ගත හැකිය.

දරුවන් දූෂ්‍ය කොට මරා දැමීම හා වධහිංසා පමුණුවා පසුව මරා දැමීම ලොව ඇති දරුණුම අපරාධයක් සේ සැලකිය හැකිය. බෞද්ධ රාජ්‍යයක් ලෙස කීර්ති නාමයක් දිනා ඇති ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම එම අපරාධ සිදු වන්නේ නම් සමස්ත සමාජයම අවදි වී එය වළක්වා ගත යුතුය. ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනයට ඉටු කළ හැකි නිසි සාධාරණය ද වන්නේ එයමය.

Read 295 times