Tuesday, 07 June 2022 02:59

අධිවේගයේ නාටකය

 

අධිවේගයේ නාටකය කියූ සැණෙන් රටේ ලොකු කුඩා කවුරුත් දන්නා සිද්ධියක් අපගේ සිහියට නැ‍ඟෙයි. එක අතෙකින් බලන විට එය රට පුරා ප්‍රචලිත විය යුතු දෙයක් නොවේ. තව අතෙකින් බලන විට එහි බරපතළ තත්ත්වයක් ද තිබේ. කුමක් වුව සමාජමාධ්‍ය අදාළ සිද්ධියට තටු ලබා දුන් අතර පසුව එය ප්‍රධාන ජනමාධ්‍යවලට ද කටගැස්මක් විය. අද වන විට එය ජාතික සංවාදයකට අවශ්‍ය පදනම සකස් කර තිබේ. දේශපාලකයා හා පොලිස් නිලධරයා අතර ගැටුමක් හැටියට එය හැඳින්විය හැකිය. පුද්ගලයන් දෙදෙනාට ම යම් බලයක් තිබේ. ගැටලුව ඇත්තේ ඔවුන් ස්වකීය බලය භාවිත කරන ආකාරය තුළය.

සියල්ලන්ම සිද්ධියට අදාළ ජවනිකා නරඹා ඇතැ’යි සිතන බැවින් එය නැවත නැවත කතාන්දරයක් ලෙස හුවා දක්වන්ට වුවමනාවක් නැත. එහෙත් ආරම්භයක් හැටියට නාටකයේ මුල් ජවනිකාව පමණක් නැවත සිහි කරන්නට කැමැත්තෙමු. දේශපාලකයකුගේ පුත්‍රයෙක් කැබ් රථයක අනාරක්ෂිත ලෙස ශීතකරණයක් පටවාගෙන අධිවේගී මාර්ගයේ ගමන් කරයි. පොලිස් මුරපොළක දී රථය නවත්වන අතර තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට අවසර දිය නොහැකි බව එහි සිටි පොලිස් නිලධාරීහු කියති. එතැන් සිට බහින් බස්වීමක් සිදුවන අතර චුදිත පුද්ගලයාගේ බිරිය ද ගැටුමට සම්බන්ධ වෙයි. එතැන් සිට දේශපාලකයාගේ පුත්‍රයා තම බලය පෙන්වන අතර පොලිස් නිලධාරීහු තම බලය පෙන්වති.

සිද්ධි නිරීක්ෂණය කරන පිරිසක් දේශපාලකයන්ට හා ඔවුන්ගේ හත්මුතු පරම්පරාවට ම බැණ වදිති. තව පිරිසක් පොලිස් දෙපාර්තමේන්තුවට බැණ වදිති. සිද්ධිය දෙස මධ්‍යස්ථ ඇසකින් බලන කෙනකු නැති ගණනය. මේ කාලය වනාහී ජනතාව නීතිය අතට ගැනීමට උත්සාහ දරන පීඩිත කාලපරිච්ඡේදයකි. විශාල පිරිසකට දේශපාලකයන් පෙනෙන්නට බැරි තත්ත්වයක් පවතී. තව අතෙකින් පොලිසිය කෙරෙහි ද අමනාපයක් ජනතාව තුළ තිබේ. පොලිසියට කැමැති අය දේශපාලකයන් වැරැදිකාරයන් කිරීමට උත්සුක වෙති. පොලිසියට අකැමැති අය දේශපාලකයන් නිවැරැදි කිරීමට උත්සුක වෙති. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පාර්ශ්ව දෙකම නීතිය හමුවේ එක සමානය. පාර්ශ්ව දෙකෙහිම වැරැදි ඇතොත් ඒවාට දඬුවම් හිමි විය යුතුය.

සිද්ධිය තාර්කික විග්‍රහයකට ලක් කළහොත් මහා මාර්ගය නීති විරෝධී ලෙස භාවිත කරන කෙනකුට උපදේශන සැපයීමට, ඔහු අත්අඩංගුවට ගැනීමට හා අවශ්‍ය නම් අවම බලය පාවිච්චි කිරීමටත් පොලිස් නිලධරයාට නීති ප්‍රතිපාදන සපයා ඇත. දේශපාලකයා නීතිය ඉදිරියේ කිසිදු ආකාරයකින් විශේෂ පුද්ගලයකු නොවන අතර ඔහු නීතියට අවනත විය යුතුය. පොලිස් නිලධාරීන්ට ඇහුම්කන් දිය යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය දැක්විය යුතුය. මෙහිදී චුදිතයාට තර්ජනය කිරීමට, හෝ පහරදීමට හෝ අයිතියක් පොලිස් නිලධරයාට නැත. දඩබ්බරකම් කරන චුදිතයකුට පහර නොදී ඔහු අඩපණ කොට අත්අඩංගුවට ගත හැකි උපායමාර්ග පොලිස් අභ්‍යාස විද්‍යාල‍යයේ දී උගන්වයි. පොලිසිය ඒවා භාවිත කළ යුතු අතර මැරයන් සේ ක්‍රියා නොකළ යුතුය. දෙපාර්ශ්වය ම තම තමන්ගේ නිදහසට කරුණු කියන බව පෙනෙයි. දේශපාලකයන්ගේ පාර්ශ්වය කියන හැටියට පොලිස් නිලධාරීන් චුදිතයාගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට පහර දී ඇත. පොලිස් නිලධාරීන් කියන හැටියට එවැන්නක් සිදු වී නැති අතර චුදිතයා රාජකාරියට බාධා කර ඇත. මෙහි ඇත්ත නැත්ත සොයා ගැනීම සඳහා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය. දැන් එවැන්නක් සිදුවෙයි. සිද්ධියෙන් පසු චුදිතයා හා ඔහුගේ බිරිය සැඟව සිටි බවක් ද වාර්තා වී ඇත. චුදිතයන්ට සැඟවීම සඳහා පහසුකම් සැපයූ කෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත. චුදිත යුවළ නීතිය හමුවට දිරිපත් කරන බව චුදිතයාගේ පියා පවසයි. මේ සෑම පුද්ගලයකුටම ගෞරවනීය ලෙස අදාළ ගැටුම සමථයකට පත් කර ගැනීමේ අවස්ථාව තිබේ. දැන් සියල්ලන්ම ඒ වෙත යොමු විය යුත්තේ පරණ කුණු ඉවත දමමින්ය.

මේ සිද්ධියෙන් උගත යුතු පාඩම් කිහිපයක් තිබේ. එක; දේශපාලකයන් තම උඩඟුකම පසෙකලා සැබෑ මහජන නියෝජිතයන් සේ නීතිගරුකව කටයුතු කිරීමට උගත යුතුය. දෙක; පොලිස් නිලධාරීන් ද තම සීමාවන් දැනගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවය. තුන සමාජ මාධ්‍ය වගකීමකින් යුතුව තම කාර්යභාරය ඉටු කළ යුතු බවය. එවිට ලස්සන රටක් අපට හිමිවනු ඇත. ‍

Read 245 times