Tuesday, 06 October 2020 08:19

මුඛවාඩම් වීසි කිරීම!

 

llUntitled 1

ලෝක බලවතා ලෙස ප්‍රකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් 19 සමච්චලයට ලක් කළ අතර, එය සාමාන්‍ය උණ රෝග‍යක් ලෙස අර්ථ ගැන්වීය. ඔහු මහජනයා ඉදිරියේ තම මුඛවාඩම ගලවා ඉවතට වීසි කළේ කොවිඩ් වසංගතය ගණන් ගත යුතු දෙයක් නොවන බව හඟවමිනි. එහෙත් ට්‍රම්ප් මහත්තයාට වැරදුණේය. ඔහු මේ වන විට කොවිඩ් ආසාදිතයකු වී හමාරය. ලෝක බලවතාගේ චර්යා රටාවෙන් අපට යමක් උගත හැකිය. එනම්: මේලෝක වසංගතය නොසලකා හැරීමට කිසිදු ජගතකු මිහි පිට නැති බවය. බලවත්, ධනවත්, උගත් යන සියල්ල ඇත්තේ වසංගතයට පහළිනි.

ශ්‍රී ලංකාව කොවිඩ් 19 වසංගතය ඉදිරියේ අපරාජිතවනැඟී සිටි බව ප්‍රකට කාරණයකි. වසංගත මර්දනය හා ඊට මුහුණදීම සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ගත් ලොව දෙවන රාජ්‍යය හැටියට කීර්ති නාමයක් අපට ලැබී තිබේ. එහි සැබෑ අර්ථය වන්නේ වසංගත තත්ත්වය රටෙන් බැහැර වී ඇතිබව නොවේ. අප රෝගය පිළිබඳ අවධානයකින් සිටින බව හා රෝග මර්දනය සඳහා වැඩපිළිවෙළක් ඇති බව ඉන් කියවේ. බුද්ධිමත් රාජ්‍ය නායකයකු අපට සිටින බැවින් ද, ශක්තිමත් ආණ්ඩුවක් අපට ඇති බැවින් ද එම සතුටුදායක තත්ත්වය උදා වී ඇත. එහෙත් නිසි පිළිවෙත් අනුගමනය නොකළ හොත් ඕනෑම මොහොතක කොවිඩ් 19 හිස එසවිය හැකිය.

මේ තත්ත්වය සනාථ කරමින් ගම්පහ දිවුලපිටියෙන් ආසාදිත කාන්තාවක හමු වී ඇත. ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර, උණට ප්‍රතිකාර ගැනීම සඳහා ගම්පහ රෝහලට ගොස් තිබේ. ආසාදිත කාන්තාව සමාජ කණ්ඩායම් කිහිපයක් ඇසුරු කර ඇති බව වාර්තා වෙයි. මේ වන විට තුන්දහසක් දෙනා නිරෝධායනයට ලක් කර සිටිති. රෝගි කාන්තාවගේ දියණියට ද වයිරසය ඇතුළු වී ඇති බව තහවුරු වී ඇත. එම දියණියගේ සම්බන්ධතා ජාලය ද දැන් විමසුමට ලක් වී තිබේ. මිනුවන්ගොඩ, දිවුලපිටිය, වේයන්ගොඩ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. ගම්පහ දිස්ත්‍රික්කය පුරා යළිත් කොවිඩ් වසංගත භීතිකාව පැතිර යමින් පවතී.

මේ සිද්ධියත් සමඟ මතු වන ප්‍රධාන ගැටලුව වන්නේ ඉහත කාන්තාව ආසාදිතයකු වූයේ කෙසේ ද යන්නය. පොදු සමාජයෙන් කොවිඩ් රෝගියකු හමු වන්නේ සැලකිය යුතු කාලයකට පසුය. එහි අනතුරු හැඟවීමක් ද තිබේ. අපගේ මූලික අවධානය යොමු වී ඇත්තේ විදේශගත වී සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයන් ගැනය. එලෙස එන සියලු දෙනා නිරෝධායනයට හා අදාළ පරීක්ෂණවලට යොමු කරන බැවින් ඒ කෙරෙහි සැකයක් ඇති කර ගැනීමට හේතු සාධක නැත. එසේ නම් ඉහත කාන්තාව ආසාදිතයකු බවට පත් වූයේ කෙසේ ද? මෙතෙක් ඊට අදාළ හේතුවක් තහවුරු වී නැත. එහෙත් හඳුනාගත යුත්තේ ද එම හේතු සාධකය බව මතක් කළ යුතුය.

කොවිඩ් වසංගතයෙන් බරපතළ පීඩා විඳින රාජ්‍යය අමෙරිකා එක්සත් ජනපදයයි. දෙවනුවට පීඩා විඳින රාජ්‍යය ඉන්දියාවයි. එම රටවලින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව, ආසාදිතයන්ගේ ගණන, රෝග ව්‍යාප්තියේ ශීඝ්‍රතාව හා ආර්ථිකයට සිදු වන බරපතළ හානියත් සැලැකිල්ලට ගන්නා විට භයානක චිත්‍රයක් අප ඉදිරියෙහි මැවෙයි. අමෙරිකාව පුරා රෝගය ව්‍යාප්ත වූයේ නොසැලකිල්ල නිසාය. රාජ්‍ය පාලකයාගේ සිට සාමාන්‍ය පුරවැසියා දක්වා සියල්ලෝම වසංගතය හෑල්ලුවට ගත්හ. අද පවා එහි වෙනසක් දකින්නට නැත. ඉන්දියාව මේ තත්ත්වයට මුහුණ දෙන්නේ ජනතාවගේ ඇති නොහික්මුණු භාවය නිසා යැයි කියන්නට හේතු සාධක තිබේ. ඉන්දීය ජාතිකයෝ පොලීසිය පහර දුන්න ද සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීම ප්‍රතික්ෂේප කරති.

ඉහත රාජ්‍ය දෙකම අපට වඩා ඉදිරියෙන් සිටින බලවත් රටවල් වුව අප ඔවුන් අනුගමනය කළ යුතු නැත. ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය මර්දනය සම්බන්ධයෙන් කීර්ති නාමයක් හිමි කර ගෙන ඇත්තේ අපේම ක්‍රමවේදයකට හා අපේම වැඩසටහනකට අනුව ඊට මුහුණ දෙන නිසා බව කිව හැකිය. ලෝකයේ බලවත් රටවලට ද ප්‍රථම වසංගත මර්දනය සඳහා ආරක්ෂක අංශ යොදා ගත්තේ ශ්‍රී ලංකාවය.

පසුව බලවත් රටවල් අපේ ක්‍රමය ආදර්ශයට ගත්තේය. නිවැරැදි තීන්දු තීරණ ගන්නා නායකයන්, සේම වැඩසටහන් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නංවන නිලධාරීන් සිටිත් නම්, කිසිදු රටක් මේ වසංගතයෙන් බරපතළ පීඩාවට පත් වන්නේ නැත. ඒ සමඟම සිහිපත් කළ යුත්තේ ජනතාවගේ පැත්තෙන් ද ඉටු විය යුතු වැඩ කොටසක් ඇති බවය.

ආපසු හැරී බලන විට අපේ ජනතාවගේ වැඩ කොටස පිළිබඳ ගැටලු ගණනාවක් මතු වී ඇත. කොවිඩ් 19 පිළිබඳ අවදානමක් ශ්‍රී ලංකාව තුළ නැතැ’යි යන හැඟීමෙන් බොහෝ දෙනෙක් ක්‍රියා කරති. ඇතැම් ආයතන හා නිලධාරීන් ද මන්දගාමි වී ඇති බවක් ද පෙනෙන්න තිබේ. ප්‍රසිද්ධ ස්ථානවල ද මුඛවාඩම නැතිව හැසිරෙන අය බහුලය. පොලීසිය ඔවුන් දෙස හැරී බලන්නේ ද නැත. මීටරයේ දූරස්ථභාවය වෙළෙඳ දැන්වීම්වලට පමණක් සීමා වී ඇත. සෞඛ්‍ය පිළිවෙත් හා උපදේශන එකින් එක සමාජය වෙතින් ගිලිහී යන්න පටන්ගෙන තිබේ. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අනුකරණය කරන්න ගිය හොත් අප විශාල අනතුරක වැටෙනු ඒකාන්තය. දිවුලපිටියේ සිද්ධිය සනාථ කරන්නේ ද එම වැදගත් සාධකය බව සිහි තබා ගත යුතුය.

කොවිඩ් මර්දනය සාමූහික වගකීමක් බව ජනාධිපතිවරයා කියා ඇත. එය තේමා පාඨයක් ලෙස පවත්වාගෙන යා හැකි නම්, අපට මේ සටන ජය ගත හැකිය.

Read 487 times