Tuesday, 13 October 2020 11:05

සෞඛ්‍ය නීතිය කාටත් පොදුයි

 


logoකොවිඩ් මර්දනයට අදාළ සෞඛ්‍ය පුරුදු නීතියක් බවට පත් කිරීමට රජය තීන්දු කර ඇත. නිරෝධායනයට අදාළ නීති පද්ධතියක් මේ වන විටත් ක්‍රියාත්මක අතර සෞඛ්‍ය පුරුදු නීතියක් බවට පත් කරන්නේ ඊට අමතර ලෙසය. මීටරේ දුර පවත්වා ගැනීම, මුව ආවරණ නිසි ලෙස පැලඳීම, අත් සේදීම ඇතුළු තවත් සෞඛ්‍ය උපදේශන ගණනාවක් ඊට ඇතුළත්ය. මීට අදාළ ගැසට් පත්‍රය ඉතා ඉක්මනින් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙයි. නීති කඩ කරන ඕනෑම තැනැත්තකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම්ය. කොක්කෙන් බැරි නම්; කෙක්කෙන් හෝ අවශ්‍ය දේ කඩා ගත යුතුය. මේ විහිළු කරන කාලයක් නොවේ. පුරවැසියා කොවිඩ් වළකනු වෙනුවට එහි ව්‍යාප්තියට කටයුතු කරන්නේ නම් එය වහා නැවැත්විය යුතුය. ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමේ කිසිදු වරදක් නැත.

අපි අපගේ හෘදය සාක්ෂියට තට්ටු කොට විමසා බලමු. කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් කීර්ති නාමයක් ලබා සිටි ශ්‍රී ලංකාව යළිත් හිටි හැටියේම අවදානමකට පත් වූයේ කෙසේ ද? දැනට පවතින තත්ත්වය සංකීර්ණ වෙයි. බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුර එක්දහස් අසූ ගණනක් දක්වා ඉහළ නැඟ තිබේ. එම ආයතනයේ මුළු සේවක පිරිස එක්දහස් හයසියයකට ආසන්න බව කියති. එක ආසාදිතයකුට තවත් ආසාදිතයන් පන්සිය විසි ගණනක් ඇති කළ හැකි බව කියති. මේ කොවිඩ් චක්‍රය සක්‍රිය වුව හොත් මුළු මහත් ශ්‍රී ලංකාවම ‍රෝගයට ගොදුරු වන්නට බැරි කමක් නැත. එබැවින් ඉදිරි කාලය තීරණාත්මකය. උපදේශන නොසලකා හරින්නේ නම් බරපතළ විනාශයක් සිදු වීමට වැඩි කාලයක් ගත වන්නේ නැත.

ඉතා ඉක්මනින් ඉතිහාසය අමතක කරන ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයා ප්‍රකටය. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ එය කියා සිටි අතර, එයින් මහඟු‍ වාසි අත් කර ගත්තේය. මේ වසරේ මුල් කාර්තුව තුළ කොවිඩ් මර්දනයට ජනතා සහාය ඉතා හොඳින් ලැබිණි. එහෙත් දෙවන කාර්තුව වන විට එය ලිහිල් වී ගියේය. නිලධාරීන්ගේ රාජකාරිය තුළ පවා දකින්නට ලැබුණේ අතිශය අලස ස්වරූපයකි. මඟීන්ගේ මුව ආවරන තිබුණේ බෙල්ලේය; නැත හොත් සාක්කුවේය. කාන්තාවන්ගේ මුඛවාඩම් බෑග්වල හිර වී තිබිණි. පොලීසිය එය සැලැකිල්ලට ගත්තේ ද නැත. උෂ්ණත්වය මැන බැලීම, මීට‍රේ දුර තබා ගැනීම හා විෂබීජහරණය ඇතැම් ආයතන විසින් මුළුමනින්ම අමතක කර දමන ලදී. එහි ප්‍රතිඵල දැන් අප ඉදිරියෙහි පවතී.

රජය කොවිඩ් මර්දනය සඳහා විශාල පරිශ්‍රමයක යෙදී ඇති අතර, ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා‍ ගැනීම සඳහා තවත් පරිශ්‍රමයක යෙදී ඇත. පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම බරපතළ අභියෝගයක් වුව කොවිඩ් රැල්ල යටතේම ඒවා පැවැත්වීමට පියවර ගනු ලැබිණි. රජය මේ අවදානම භාර ගත්තේ රටේ අධ්‍යාපන ක්‍රියාවලිය හා දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඉදිරි පියවරක් තබමිනි. විභාග කල් තැබීම ඔස්සේ අධ්‍යාපනය අවුලට යයි. එය දරුවන්ගේ ජීවිතවලට අදාළය. රජය සිය වගකීම් හා යුතුකම් ඉටු කරන අතර ජනතාව ද සිය යුතුකම් හා වගකීම් ගැන අවධානය යොමු කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට තවත් වසර කිහිපයක් යන තුරු කොවිඩ් සමඟ ජීවත් වීමට අපට සිදු වේ. එය මන්ත්‍රයක් සේ ජප කළ යුතු දෙයක් බැවින් අපි නිතර ලියා තබමු. කොවිඩ් 19 වයිරසය පරාජය කළ හැකි එන්නතක් හෝ ඖෂධයක් හෝ තවම හඳුනාගෙන නැත. සියල්ල පවතින්නේ පර්යේෂණ මට්ටමේය. කොවිඩ් පරාජය කළ හැකි එකම ක්‍රමය ලෙස හැඳින්වෙන්නේ සෞඛ්‍ය පුරුදු ඔස්සේ එය වළක්වා ගැනීම පමණි. ර‍ටේ සමස්ත ජනතාව සෞඛ්‍ය පුරුදු කරා යා යුතුය. දේශපාලකයන්ට, නායකයන්ට, ප්‍රභූන්ට පමණක් නිදැල්ලේ හැසිරීමට ඉඩ දිය යුතු නැත. නීතියක් පැනවීමෙන් පසු එය කාටත් පොදු විය යුතුය. නීතිය කඩ කරන ප්‍රභූන් ද අත්අඩංගුවට ගෙන නඩු පවරන තැනකට පොලීසිය යා යුතුව තිබේ.

විචාරශීලි සමාජයක් හැටියට අප නැවත කල්පනා කර බැලිය යුත්තේ දැඩිසත්කාර ඒකකයකට ඇතුළු වී දුක් විඳිනවා ද? නැත හොත් සෞඛ්‍ය උපදේශන පිළිපදිනවා ද? යන්නය. මේ දෙකෙන් වඩා යහපත් කුමක් ද යන්න ඉතා පැහැදිලිය. කොවිඩ් පැතිර ගිය මුල් වකවානුව තුළ නි‍රෝධායනය ප්‍රතික්ෂේප විය. වැඩි දෙනා ඊට විරෝධය පෑහ. එහෙත් ආරක්ෂක අංශවල මැදිහත් වීම මත අවශ්‍ය සියල්ලන්ම නි‍රෝධායනය වෙත යොමු කිරීමට හැකි විය. දැන් නි‍රෝධායනය පිළිබඳ ගැටලුවක් නැත. සියල්ලෝම ඊට කැමැත්තෙන්ම එකතු වෙති. සෞඛ්‍ය පුරුදු ද එලෙසමය. කිහිපදෙනකුට දඩ වදින විට උපදේශන ඉබේම ක්‍රියාත්මක වනු ඇත.

Read 192 times