Monday, 19 October 2020 09:54

නිරෝධායනයට ගරහන්න එපා!

 

logoරජයේ නිරෝධායන වැඩසටහන් උපහාසයට, අපහාසයට හා ගර්හාවට ලක් කරන කූට වැඩපිළිවෙළක් ඇති බව පෙනී යයි. සමාජ මාධ්‍ය විසින් සමාජගත කරන ඇතැම් වාර්තාවලින් ඒ බව සනාථ වෙයි. එක්තරා වාර්තාවකට අනුව නිරෝධායන මධ්‍යස්ථානයකදී ආහාරය සඳහා අමු කරවල දී ඇත. එහිම සඳහන් වන අන්දමට නිරෝධායනය සඳහා රැගෙන යෑමේදී පුද්ගලයන්ට සූදානම් වීමට ඉඩක් ලබා දී නැත. වාර්තාවට අනුව තත්පරයකින් සූදානම් වන්නැ’යි නිලධාරීන් කියා ඇත. මෙය කිසිසේත්ම සිදු විය නොහැකි දෙයකි. හමුදාපතිවරයා මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදු කර ඇති අතර, කිසිදු තැනකදී එවැන්නක් සිදු වී නැති බවට අවධාරණය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව මහජනයා වෙනුවෙන් ඉටු කරන කාර්යභාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට ලක් වී ඇත. විශේෂයෙන් මෙහිලා හමුදාව ඉටු කරන කාර්යභාරය කාගේත් අවධානයට ලක් වී ඇත. වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමේදී හමුදාවේ කාර්යභාරය තීරණාත්මක වෙයි. නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පිට වී යන පුද්ගලයෝ හමුදා නිලධාරීන්ට දණ ගසා වඳිති. සමහරු කවි ගායනා කොට ඔවුන්ට සුබ පතති. තව සමහරු හමුදා නිලධාරීන් දෙවියන්ට සමානයැයි කියා සිටිති. ශ්‍රී ලංකාවේ ඇත්තේ මානුෂීය හමුදාවකි. මිනිසුන්ගේ දුක - කඳුළ - සුසුම ඔවුන්ට හොඳින් දැනෙයි. මෙතෙක් කිසිදු නිරෝධායන මධ්‍යස්ථානයකින් ඇත්ත විවේචනයක් ඉදිරිපත් වී නැත.

කොවිඩ් වසංගතයට මුහුණදීම සඳහා සාමූහිකව ක්‍රියා කළ යුතු බව ප්‍රකාශයට පත් වී ඇත. එහි අදහස වන්නේ සෑම සමාජ කණ්ඩායමක්ම තම වගකීම් හා යුතුකම් ගැන අවබෝධයකින් ක්‍රියා කළ යුතු බවය. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ කණ්ඩායම් තම වගකීම් හා යුතුකම් ඉටු කරන්නේ නැත. ඒ ගැන හැඟීමක් පවා නැති බව ද පෙනී ගොස් තිබේ. රජය මුල සිටම දූරදර්ශි සැලැසුමකට අනුව අභියෝගයට මුහුණ දෙමින් සිටී. වසංගත ව්‍යාප්තිය වැළැක්වීම, දෛනික ජීවිතය යථා තත්ත්වයට ගැනීම හා ආර්ථික ක්‍රියාවලිය සක්‍රිය කිරීම අතින් ජයග්‍රහණ වාර්තා කරන්නට ද රජය සමත් විය. එහෙත් ඇතැම් පාර්ශ්වවල වගකීම් විරහිත හැසිරීම් නිසා යළිත් කොවිඩ් අවදානම උත්සන්න වන්නට පටන්ගෙන තිබේ.

විවෘත සමාජය වෙතින් ආසාදිතයන් හමු වීම මුළුමනින්ම නැවතී තිබිණි. එය පැවැතියේ සුළු කාලයක් පමණි. සමාජයේ බහුතරය කොවිඩ් නොසලකා හැර ක්‍රියා කළ බැවින් ගැටලුවේ මුල් අවස්ථාව වෙත යළිත් ඇදවැටී තිබේ. මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති එක් පියවරක් වන්නේ කොවිඩ් සෞඛ්‍ය උපදේශනය නීතිගත කිරීමය. ඒ අනුව නිසි සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ද, දඬුවම් පැමිණවීමට ද සිදු වනු ඇත. මේ පියවර ගෙන ඇත්තේ ද මහජන සුබ සිද්ධිය සඳහාය. වසරේ මුල් කාර්තුවේ ජනතාව සෞඛ්‍ය උපදේශන අනුව ජන ජීවිතය හැඩගස්වා ගත්තේ වුව දෙවන කාර්තුව වන විට සියල්ල අත්හැර තිබිණි. එහෙත් දැන් කොවිඩ් සමඟ සෙල්ලම් කිරීමට ඉඩක් නැත. ඒ බව කවුරුත් වටහාගත යුතුව තිබේ.

 

මේ වසංගත සමයේ සමාජ මාධ්‍යවල හැසිරීම කිසි සේත් අනුමත කළ නොහැකිය. රජය මේ සම්බන්ධයෙන් විවිධ මාර්ගෝපදේශන සපයා තිබුණ ද අසත්‍ය තොරතුරු ළැව් ගිනි සේ පැතිර යයි. නිරෝධායනයට එරෙහි මඩ ප්‍රචාරයක් මීට පෙර ද දක්නට ලැබිණි. එය මැකී ගියේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් නික්මී යන්නට පටන් ගත් තැන සිටය. මේ වන විට පනස් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් කර ඇත. ඒ සඳහා බරපතළ වියදමක් සේම බරපතළ පරිශ්‍රමයක් ද දැරීමට රජයට සිදු වී ඇත. නිරෝධායන ක්‍රියාවලිය වසංගත පාලනයේදී අංක එකට එයි. එය අවුල් වුව හොත් කොවිඩ් පාලනය මුළුමනින්ම අඩාළ වෙයි.

නිරෝධායන වැඩපිළිවෙළ විධිමත් ක්‍රියාවලියකි. එය සැකසී ඇත්තේ සෞඛ්‍ය අංශවල උපදේශනය මතය. කිසියම් නි‍ෙවසකින් හෝ මධ්‍යස්ථානයකින් හෝ නිරෝධායනය සඳහා පුද්ගලයන් රැගෙන යන්නේ පූර්ව දැනුම් දීමකින් පසුවය. පැය ගණනකට පෙර දුරකතනය ඔස්සේ එම පණිවිඩය ලබා දෙයි. නිරෝධායනයට ඇතුළත් දින ගණනට අවශ්‍ය ඇඳුම් හා වෙනත් දේවල් සකස් කර ගැනීමට පැය ගණනක් හොඳටම ප්‍රමාණවත්ය. නිරෝධායනයට එකතු වන පුද්ගලයන්ගේ නිවාස හා වෙනත් දේපොළ සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ද ගනු ලැබේ. නි‍ෙවසක ඇති කරන සුරතල් සතුන් ගැන පවා සොයා බලන ප්‍රතිපත්තියක් නිරෝධායන වැඩසටහනට ඇතුළත්ය. මේවා පිළිබඳ ඇත්ත සමාජ මාධ්‍යවල පළ වන්නේ නැත.

නිරෝධායන මධ්‍යස්ථාන හා සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශ ගැන නිරන්තරයෙන් සොයා බලන ජාලයක් රජයට තිබේ. සෞඛ්‍ය අංශ, ආරක්ෂක හමුදා පොලීසිය පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ ආයතන ද ඊට එකතු කරගෙන තිබේ. ග්‍රාමසේවක මහත්වරුන් පමණක් නොව; ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද, පළාත් පාලන ආයතන ද මේ ජාලයට සම්බන්ධය. කිසිවකුටත් ස්වකීය වගකීම්වලින් බැහැර වීමේ හැකියාවක් නැත. මෙබඳු පසුබිමක නිරෝධායන මධ්‍යස්ථානවල සේවා කඩා වැටෙන්නට ඉඩක් නැත. ආරක්ෂක අංශවලට අමානුෂික ලෙස ක්‍රියා කරන්නට ඉඩක් ද නැත. කොවිඩ් වැළැක්වීමේ කාර්ය සාධන කමිටුව වරින් වර රැස් වී කටයුතු සමාලෝචනය කරයි.

විශේෂඥයන්ගේ මතයට අනුව ශ්‍රී ලංකාව පසු වන්නේ සුබදායක තැනකය. බරපතළ තත්ත්වයක් ඇති වීමට පෙර කොවිඩ් පාලනය කර ගැනීමේ ඉඩ ප්‍රස්තාව තවම ශ්‍රී ලංකාවට ඇති බව ඔවුන්ගේ අදහසය. මේ තත්ත්වය යටතේ නිරෝධායනය පසුගාමි වුව හොත් සමස්ත ක්‍රියාවලිය අඩපණ වීමට ඉඩ තිබේ. සමාජ මාධ්‍ය පතුරවන බොරුවලට අනුව මහජනයා ක්‍රියා කිරීමට පටන් ගත හොත් සිදු වන්නේ බලවත් විනාශයකි. මේ විනාශය ඇති වීමට පෙර සමාජ මාධ්‍ය යම් පාලනයකට නතු කළ යුතුය. අවම වශයෙන් අතේ පැළ වෙන බොරු ප්‍රචාරය කරන කිහිප දෙනකු හෝ සිරගත කළ යුතුය. එය වගකීමකි.

Read 485 times