Tuesday, 29 March 2022 07:16

ගුල්ලන් ගැසූ හාල් කවන්න හැදූ ජාවාරම්කාර පාපතරයෝ

 

 

නොමැරී මැරී ජීවත්වීම’ යන්න වහරෙහි එන්නකි. මේ මොහොත යනු මෙරට සකලවිධ ජනයා එම කියමන් ජීවමානව අත්විඳිමින් සිටින මොහොතකි. එම ජනයාත් සූරාකෑමට යමකු පෙළඹෙන්නේ නම් හෙතෙම මනුෂ්‍යයකු විය නොහැකි ය. එබඳු අමනුෂ්‍යයකු සම්බන්ධ පුවතක් අප පුවත්පත  ඉකුත්දා වාර්තා කළේ ය. එම ප්‍රවෘත්තිය ළඟ ළඟ එන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සම්බන්ධ ය.

කැකිරාව, ගනේවල්පොල ප්‍රදේශයේ සද්ගුණවත් ව්‍යාපාරිකයෙක් සිටී. මෙම ව්‍යාපාරිකයා ඉන්දියාවෙන් හාල් තොගයක් ආනයනය කර තිබේ. ඒ සිංහල අවුරුදු සමයේ ජනයාට මිලදී ගැනීමටය. එම හාල් තොගය කිලෝ ලක්ෂ 2ක පමණ ප්‍රමාණයකි. එයින් කිලෝ විසි දෙදහක් පමණ ගුල්ලන් ගසා ඇත. ‘ගුල්ලන් හැපෙන්නේ නැතැයි’ එම සද්ගුණවත් ව්‍යාපාරිකයාට සිතෙන්නට ඇත.

ඒ  අනුව එම ගුල්ලන් ගැසූ හාල් ‘හොඳ හාල්’ සමග මිශ්‍ර කර ලාභයක් ලැබීමට ඔහුට කල්පනා විය. උත්සව සමයේ කාර්ය බහුල ජනයාට ‘හොඳ හොඳ දේ’ සොයමින් නාස්ති කිරීමට කාලයක්ද නැත. පරිභෝජනයට නුසුදුසු ආහාරපාන තමන්ට විකුණනු ඇතැයි බොහෝ දෙනෙක් සිතති. ඒ තමන් මෙන්ම අන්‍යයන්ද අවංක යැයි ඔවුන් සිතන හෙයිනි. 

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඔත්තුවක් ලැබිණි. එයින් කියැවුණේ ආනයනික සහල් තොගයක් ගනේවල්පොල ප්‍රදේශයේ හාල් මෝලකදී දේශීය සහල් සමග මිශ්‍රකර වෙළඳපොළට නිකුත් කිරීමට සූදානමක් ඇති බවය. ඒ අනුව එම සහල් මෝල වටලනු ලැබූ අතර එවැන්නක් එහිදී හමුවී නැත. එහි වෙනත් ගබඩාවක් පරීක්ෂා කිරීමේදී ඉන්දියාවෙන් ආනයනය කළ සහල් කිලෝ ලක්ෂ 2ක් හමුවී ඇති අතර පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් කිලෝ විසි දෙදහසක්ද එහි තිබී ඇත.

අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සහල් සාම්පල රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට කටයුතු කර ඇති බවත් එහි වාර්තා අනුව සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවත් ය. එමෙන්ම උත්සව සමය ඉලක්ක කර ගනිමින් එම සහල් තොගය වෙළඳපොළට නිකුත් කිරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවත් අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පවසති. 

මහින්දාගමනයත් සමග මේ දිවයින දැහැමි ආර්ථික මාවතකට පිවිසියේ ය. එම දැහැමි ආර්ථික  මාවත නම් කෘෂිකර්මාන්තය වේ. කෘෂි කර්මාන්තයට ජලය අවැසි හෙයින් ඉපැරණි මුතුන් මිත්තෝ සයුර පරයන මහ වැව් ඉදි කළහ. වැවෙන් කපාගත් මහ පස් කඳු අහස සිඹින මහා දාගැබ් බවට පත් කළහ. වැව හා දාගැබ ආශ්‍රිතව ජනාවාස ඉදිකර ගත්හ. ‘ගමයි පන්සලයි වැවයි දාගැබයි’ අපගේ ශ්‍රේෂ්ඨ ජාතික උරුමය බවට පත් වූයේ එසේ ය. 
වැව ආසන්නයේම දාගැබ ඉදිවීම අපගේ ආර්ථික දර්ශනයේ මූලික සිද්ධාන්තය වේ.

වැව්තලය නිල්වන් දිය කඳින් පිරීගිය කල්හි දාගැබ් සෙවණැල්ල එම වැව්දිය මතට වැටේ. වැව සමෘද්ධියේ සංකේතය වේ. ආර්ථික දියුණුවේ සංකේතය වේ. ඒ මතට දාගැබේ සෙවණැල්ල  වැටීමෙන් සංකේතවත් වන්නේ එම ආර්ථික දියුණුව දැහැමි විය යුතු බවය. අප අපටම  අනන්‍ය උදාර ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් නිර්මාණය කර ගත්තේ එසේය. 

වර්තමාන තත්ත්වය බෙහෙවින් සෝබර ය. පාසල් සිසුවියන් රවටා රැගෙන ගොස් සෙළෙලුන්ට විකුණා කීයක් හෝ අතමිට මොළවා ගන්නා සාපලත් පුද්ගලයෝ සිටිති. පාසල් සිසුවාගේ අතේ ඇති මුදලට අනුව ලිංගික පහස සපයන ගණිකා මඩම් මේ රටේ වෙයි. කලාව සුන්දර වෘත්තියකි. එම සුන්දර වෘත්තියට එක්වීමට කැමති තරුණියන්ට මෙගා ටෙලි නාට්‍යවල සුළු චරිත රඟපෑමට දී ඒ හරහා එම තරුණියන් කාම ගින්නෙන් දැවෙන්නන්ට විකුණන පාපතරයෝ සිටිති. 

පිළුණු එළවළු හවසට කොත්තු රොටි වී යළිත් කෑම මේසයට ගෙනෙන හෝටල් වේ. එක් හෝටලයක සීනි ගබඩාකර තිබුණේ එම හෝටලයේ  වැසිකිළිය තුළ ය. නරක්වූ අල ලූනු ශුද්ධ කර අලුත් ඇසුරුම්වල බහා වෙළඳපොළට එවන ජාවාරම්කාරයෝ සිටිති. කැකිරාව ගනේවල්පොල ප්‍රදේශයේදී කොටුකර ගැනීමට හැකිවූයේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ගුල්ලන් ගැසූ සහල් මේ උත්සව සමයේ වෙළඳපොළට එවීමට සූදානමින් සිටි අපරාධකරුවෙකුය.

සියලු සත්වයන් ජීවත් වන්නේ ආහාරයෙනි. කුමක් දරා ඉවසා සිටියද මිනිසාට කුසගින්න දරා ඉවසා සිටිය නොහැකිය. ඒ ජනයා රෝගී කරන සුසාන භූමිය ආසන්න කරවන ආහාරපාන ලබාදීම අවීචි මහා නරකාදියෙහි ඉපදීමට හේතුවකි. මෙබඳු පාපතරයන් කොහේ කොතැන ඉපදුණද අපට කම් නැත.

යළි ඉපදීමට නම්  මරණයට පත්විය යුතු ය. අපට අවශ්‍ය වන්නේ එසේ මරණයට පත්වීමට පෙර මතක හිටින දඬුවම් මේ ජාවාරම්කාර පාපතරයන්ට ලබාදීම ය. නීති පොතේ මුද්‍රිත වගන්ති නොපමාව ක්‍රියාත්මක කළ යුතු වන්නේ ඒ වෙනුවෙනි.

 

Read 308 times