Friday, 06 May 2022 08:54

හෘදයසාක්ෂිය හා තිත්ත ඇත්ත

 

මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කථාවෙන් අප කාගේත් ඇස් ඇරෙන බව කිව යුතුය. එලෙසම එම කථාවෙන් රටේ අනාගතය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බව ද සඳහන් කළ යුතුය. එම කථාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතුය. පළමු කොටසින් කියැවෙන්නේ අපේ ආර්ථිකය පිළිබඳ ඇත්ත කතාවය. ආර්ථිකය ගැන පුරසාරම් කීමෙන් පලක් නැත. ජනතාව හමුවේ ඇත්ත පෙන්වා දිය යුතුය. ආර්ථිකය පිළිබඳ කරුණු සඟවන විට ජනතාව මුළා වෙති. එය සුදුසු දෙයක් නොවේ. දෙවන කොටසින් කියැවෙන්නේ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා ගත යුතු උපායමාර්ගයන් ගැනය. දැනටම ඒවා ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ.

අලි සබ්රි මහතා පෙන්වා දෙන අන්දමට අපේ විදේශ විනිමය සංචිතවල ප්‍රමාණය ඩොලර් මිලියන පනහකට වැඩි නැත. එය අතිශය දුෂ්කර හා අවාසනාවන්ත තත්ත්වයකි. ඉතා ඉක්මනින් විදේශ විනිමය සංචිත ඉහළ නංවා ගැනීමට ක්‍රියා කළ යුතුය. නිදහසින් පසු ඇතිවූ දරුණුම ආර්ථික කඩා වැටීමට අපි මුහුණ දී ඇත්තෙමු. බදු කපා හැරීම, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ මීට පෙර සාකච්ඡා නොකිරීම අර්බුදය උත්සන්න වීමට බලපෑ හේතු ලෙස හැඳින්විය හැකිය. අනවශ්‍ය ලෙස විදේශ ණය ලබා ගැනීම හා ආදායම් උත්පාදන මාර්ග සඳහා ගත් ණය යොදාගෙන නැති බව ද හෙළිදරව් වී ඇත. රට සතු විදේශ විනිමයෙන් වැඩි ප්‍රතිශතයක් ණය හා පොලී ගෙවීම සඳහා යොදා ගැනීමත් සුදුසු දෙයක් නොවේ.

ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම සඳහා පෙලැඹී ඇත්තේ එක්දහස් නවසිය පනස් ගණන්වල සිටය. එදා ණය ගෙවීම සඳහා දීර්ඝ කාලයක් ලබා දී තිබූ අතර පොලිය ද අදට වඩා බෙහෙවින් අඩුය. එහෙත් මුල් කාලයේ සිටම විදේශ ණය සම්බන්ධයෙන් සාර්ථක කළමනාකරණයක් නොවූ බව පෙනෙයි. 1977න් පසු විදේශ ණය ගැනීම වැඩි වී ඇත. පසු කාලයේදී ණය හා පොලී ගෙවීම සඳහා ද නැවත ණය ලබා ගෙන ඇත. එය මෑතක් වනතුරුම සිදු වී ඇත. ඉදිරියටත් එය කරන්නට සිදු වනු ඇත. ණය හා ආධාර නැතිව රට ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් නැත. කවුරුන් ආණ්ඩු බලය ලබාගත්ත ද ආපසු ණය හා ආධාර ගැනීමට සිදු වනු ඇත. යථාර්ථය එයයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ආර්ථික අර්බුදය මාසයකින් දෙකකින් නිමාවට පත් වන්නේ නැත. අර්බුදය විසඳීමට තවත් වසර දෙකක කාලයක් වත් ගත වනු ඇත. එම කාලය තුළ යම් කැපවීමක් කිරීමට රටේ සියලු පුරවැසියන් සූදානම් විය යුතුය. මේ වන විට ජගත් මූල්‍යායතන කිහියක් සමඟ සාකච්ඡා පැවැත්වෙයි. ඒ හැරෙන්නට මිත්‍ර රාජ්‍යයන් අපට සහයෝගය දැක්වීම සඳහා ඉදිරිපත්ව සිටී. ඉන්දියාව, චීනය, අමෙරිකාව හා බංග්ලාදේශය ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය. මිත්‍ර රටවල සහයෝගය ද මෙහිලා තීරණාත්මක සාධකයක් බව පෙන්වා දිය යුතුය. අමෙරිකාව ඩො.මි. 400ක මානුෂීය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා එකඟ වී ඇත. අපේ විදේශ ප්‍රතිපත්තියට අනුව ඕනෑම රටකින් ණය හා ආධාර ලබා ගැනීමේ හැකියාව පවතී.

මුදල් අමාත්‍යවරයා සිය කථාවෙන් ඉල්ලා සිටින ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න කරුණාකර සැබෑ තත්ත්වය වටහාගන්න යන්නය. දෙවැන්න මේ අර්බුදයෙන් ගොඩයෑම සඳහා සහයෝගය ලබා දෙන්න යන්නය. එක අතකින් දේශපාලන ස්ථාවරභාවය ඉතා වැදගත්ය. දුර්වල ආණ්ඩු සමඟ ගනුදෙනු කිරීමට ජගත් ආයතන පෙලඹෙන්නේ නැත. තවත් අතකින් රටේ කර්මාන්ත හා ව්‍යපාර හොඳින් පවත්වාගත යුතුය. අනාගතයේ දුර්වල ආර්ථිකයක් ඇති වෙතැ‘යි උපකල්පනය කළහොත් විදේශ ණය ලැබෙන්නේ නැත. රටේ පවත්නා සමාජ අස්ථාවරත්වය නිසා ආයෝජකයන් රටට එන්නේ නැත. අපේ ඇඟලුම් කර්මාන්තයෙන් ලක්ෂ තිහකට වැඩි පිරිසක් ජීවත් වෙති. ඒ හැරෙන්නට එය විදේශ විනිමය උපදන ප්‍රධාන ක්ෂේත්‍රයකි. එහෙත් රටේ පවතින ජන අරගල නිසා ඇඟලුම් කර්මාන්තය ශීඝ්‍ර‍ෙයන් පල්ලම් බසින බව දැක ගත හැකිය. 

ගෙවී ගිය වසරේ වැඩ වර්ජන විසි ගණනක් පවත්වා ඇති බව ද එයින් වැඩ කරන පැය ලක්ෂ ගණනක් රටට අහිමි වූ බව ද කියති. ආයෝජන කලාපවල ඇතැම් කර්මාන්තකරුවන් තම ව්‍යාපාර රැගෙන බංග්ලාදේශයට පිලිපීනයට, නේපාලයට යන ප්‍රවණතාවක් මතු වී ඇති බව ද කියැවේ. වර්ජන, දේශපාලන ආරවුල් හා විදුලිය කැපීම වැනි හේතු සාධක නිසා විදේශ ආයොජකයන් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන්නට පුළුවන. මේවා වෙනස් විය යුතුය. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට ඉදිරියේදී ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගැනීමට සිදු වෙයි. බදු මුදල් වැඩි කිරී මට ද සිදු වෙයි. ආදායම් ලබන අය සාධාරණ මුදලක් රටේ පැවැත්ම වෙනුවෙන් ලබා දීම යුක්ති සහගත කාරණයකි.

ආර්ථික අර්බුදය තවදුරටත් උත්සන්න කොට රට අගාධයක් වෙත ගෙන යනවා ද? නැත හොත් සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ රට යථා තත්ත්වයට ගන්නවා ද? යන්න අප අපගේම හෘදය සාක්ෂියට තට්ටු කොට විමසා බැලිය යුතුය.

Read 169 times