Saturday, 27 April 2024

ශිෂ්‍යත්ව, සා.පෙළ සහ උ.පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට නිශ්චිත දින

Posted On Friday, 10 March 2017 08:16

පාසල් මට්ටමෙන් පැවැත්වෙන ප්‍රධාන විභාග වන පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට අදාළ ප්‍රතිඵල නිකුත් කිරීමේ දී එය වසරේ නිශ්චිත දින වකවානු තුළ සිදුකිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.


සෑම වසරක ම අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම දෙසැම්බර් 27 දින සිදු කිරීමටත් අ‍.පොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල මාර්තු 28 දින නිකුත් කිරීමටත් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඔක්තෝබර් මස 05 දින නිකුත් කිරීමටත් තීරණය කොට ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පසුගිය කාලයේ දී ප්‍රතිඵල නිකුත් වීම ප්‍රමාද වීම හේතුවෙන් උසස් පෙළ සිසුන්ට වෙනත් රටවල විශ්වවිද්‍යාල පාඨමාලාවන් සඳහා ඉල්ලුම් කිරීමේ දී මතුවූ ප්‍රායෝගික අපහසුතා සලකා බලමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රතිඵල නිකුත් කිරීමේ දී ඒ සඳහා නිශ්චිත දිනයන් යොදාගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

මීට අමතරව 2019 වසරේ සිට  සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙක ම වසර අවසානයේ පැවැත්වීමට අවධානය යොමුව ඇති බව ද සඳහන් කළ අමාත්‍යවරයා, පාසල් සිසුන්ගේ කාලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එම තීරණය ගැනීමට අදහස් කර ඇති බව ද සඳහන් කළේය.

ඒ අනුව සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූ වහා ම හැකි ඉක්මණින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහාත් උසස් පෙළ ප්‍රතිඵල හැකි ඉක්මණින් නිකුත් කොට විශ්වවිද්‍යාල ප්‍රවේශය කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රජය විසින් ක්‍රියාත්මක කර ඇති ‘’ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන් යටතේ මානව සම්පත් සංවර්ධනය කිරීමට අදාළව අභිනවයෙන් ඉදිකෙරෙන ජයවර්ධනපුර කලාපයේ නව ගුරු මධ්‍යස්ථානයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරවරයා මේ බව පැවසීය.

දිවයින පුරා ගුරු මධ්‍යස්ථාන 109ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු අදියර යටතේ මුල්ගල තැබෙන 39 වැනි ගුරු මධ්‍යස්ථානය මෙයයි.