Sunday, 19 November 2017

ඒකාබද්ධ පළිබෝධ පාලනය හා කෙම් ක්‍රම

Posted On Tuesday, 27 December 2016 08:19

සීඝ්‍රයෙන් වැඩිවන ලෝක ජනගහනයට අනුව ආහාර අවශ්‍යතාව දිනෙන් දින ඉහල යමින් පවතී. එමෙන්ම ලෝක ජනගහනයෙන් බහුතරයකගේ ජීවිකා වෘත්තිය වී ඇත්තේ  කෘෂිකර්මයයි. මේ අනුව  බෝග අස්වනු ඉහල දැමීම පිළිබඳ අවධානය යොමු කිරීම අප සියලු දෙනාටම බලපාන වැදගත් කරුණක් මෙන්ම බහුතරයකගේ ජීවන තත්ත්වය හා ආදායම ඉහළ දැමීමට බලපාන කරුණක් ද වේ.


දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව යම් පසුබෑමකට ලක් වූ කෘෂි නිෂ්පාදනයට පිළියමක් ලෙස හැත්තෑව දශකයේ පමණ වැඩි අස්වනු බෝග ප්‍රභේද හඳුන්වාදීමත් ඒ සමඟම පළිබෝධ නාශක සහ රසායනික පොහොර හදුන්වා දීමත් සිදු කෙරිණි. මෙහිදී ස්වාභාවික සම්පත්වල සීමාකාරී බව අවධාරණයට ලක් කරමින් ඒකක භූමි ප්‍රමාණයකින් වැඩි අස්වනු ලබාගැනීම අරමුණු කෙරිණි.
 
ඒ සඳහා කෘෂි රසායන ද්‍රව්‍ය හා නැවත භාවිතා කළ නොහැකි ශක්ති ප්‍රභව  (Non – renewable Energy Sources) භාවිතා වන උපකරණ (උදා- ට්‍රැක්ටර්) උපයෝගී කර ගන්නා ලදී. පළිබෝධයන්ගෙන් තොර වැඩි අස්වනු බෝග ප්‍රබේද වලින් යුත් ඒකාකාරී වගා බිම් සකස් කෙරිණි.මීට සමගාමීව වෙනත් ක්ෂේත්‍ර වල ද රසායනික ද්‍රව්‍ය භාවිතය, යන්ත්‍ර සූත්‍ර භාවිතය, ඉන්ධන දහනය සීඝ්‍ර ලෙස ඉහල ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආහාර ද්‍රව්‍ය වල විස අඩංගු වීමත්, වාතය හා ජලය දූෂණය වීමත් ජෛව ගෝලයට විකිරණශීලි අපද්‍රව්‍ය එකතු වීමත් සීඝ්‍රයෙන් වැඩි විය. ලෝක ඉතිහාසය දෙස බලන විට සීඝ්‍ර පරිසර දූෂණයක් ඇති වූ කාල වකවානුවක් ලෙස මේ කාල පරිච්ඡේදය හැදින්විය හැකිය.kem
 
කෘමි පලිබෝධ පාලනය සඳහා දිගින් දිගටම කෘෂි රසායන යෙදීමෙන් පළිබෝධකයන් කෙරෙහි ඇති කරන බලපෑමත්  ඉලක්ක නොවන ජීවීන් සහ පරිසරය කෙරෙහි ඇති කරන බලපෑමත් (ආහාරදාම හරහා සිදු වන ජෛව සාන්ද්‍රණය, හිතකර ජීවීන් විනාශ වීම, හදිසි අනතුරු සහ සියදිවි නසා ගැනීම, ජල දූෂණය, මිනිස් සෞඛ්‍යයට ඇති කරන බලපෑම) සැලකිල්ලට ගෙන පළිබෝධ පාලනය සඳහා ඒකාබද්ධ පාලන ක්‍රම වෙත යොමු වීමක් වර්තමානයේ සිදු වෙමින් පවතී.මේ සඳහා දැන් නැවතත් පැරණි තාක්ෂණය දෙසට යොමු වීමක් දක්නට ලැබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස “ඒකාබද්ධ පළිබෝධ පාලනය” (Integrated Pest Management ) දැක්විය හැකි අතර ඇත්ත වශයෙන්ම මෙහිදී පැරණි තාක්ෂණ ඥානය කැටි වූ කෙම් ක්‍රම වල විද්‍යාත්මක හරයන් භාවිතා කිරීමක් සිදුවන බව ඒවා සැලකිලිමත්ව විමර්ශණය කිරීමෙන් පෙනී යයි.
 
ඒකාබද්ධ පළිබෝධ පාලනය යනු ක්ෂේත්‍රයේ සිටින පළිබෝධ ගහණයට වගාවේ ආර්ථිකව හානි කරන මට්ටමකට පැමිණිමට ඉඩ නොදී පරිසරයට හිතකර ක්‍රම මඟින් පාලනය කිරීමයි. මෙහි දී පළිබෝධකයා සමූල ඝාතනයක් නොව පාලනය කිරීමක් පමණක් අදහස් කෙරේ. ආර්ථික හානිදායක මට්ටමට එළඹීමට වහාම පෙර ඇති පළිබෝධ ගහන ඝනත්වය ආර්ථික දේහලීය මට්ටම ලෙස හැඳින්වෙන අතර වගාවේ සිටින පළිබෝධකයින් මේ මට්ටමේ හෝ ඊට පහල මට්ටමක පවත්වා ගැනීම අවශ්‍ය වේ. අපේ පැරැන්නෝ විවිධ කෙම් ක්‍රම මඟින් කලේද මෙයම බව පැහැදිලි සත්‍යකි.
 
වර්තමානයේ වී වගාවේ අස්වනු ඉහල දැමීම සඳහා වූ පස් වැදෑරුම් ක්‍රමවේදයේ එක් ප්‍රධාන කාරණයක් වනුයේ ඒකාබද්ධ පළිබෝධ පාලනයයි. මෙහිදී යාය ගොවි කණ්ඩායම් සමඟ කරන පළිබෝධ පාලන ක්‍රියාකාරකම් බොහොමයක් පැරණි කෙම් ක්‍රම ආභාසයෙන් සැදුම්ලත් බව පෙන්වා දිය හැකි ය. වර්තමාන ඒකාබද්ධ පළිබෝධ පාලනයේ මෙන්ම පැරණි කෙම් ක්‍රම වලද පොදු ලක්ෂණයක් වන්නේ ආහාර දාම වල එක් පුරුකක් වන පළිබෝධකයා සම්පූර්ණයෙන් විනාශ නොකිරීමත් ඔවුන්ගේ ස්වභාවික සතුරන් ආරක්ෂා කිරීමත් ය.
 
එසේම පැරණි ජන සමාජයේ තිබූ ඕනෑම දෙයක් සඳහා වූ හොඳ සූදානම් වීම හෙවත් පේවීම තුළින් යම් යම් චාරිත්‍ර විධි කෙම් ක්‍රම වලට එක් වීමත්, එකල තිබූ සමාජ පසු බිම තුළ නියමාකාරවම සිදු කිරීමේ අවශ්‍යතාවය මත ගුප්ත බවක් එක් කිරීමත් කෙම් ක්‍රම වල දක්නට ලැබීම සුවිශේෂත්වයකි. (උදා-ඉරිමා පිදීම, කෙම්මුර වතාවත් කිරීම, අභිමාතා පිදීම) විද්‍යාත්මකව පිළිගන්නා පරිදි එක් එක් පළිබෝධකයා මර්ධනය කිරීම සඳහා දවසේ උචිත කාල වේලාවක් පවතින්නා සේම බොහෝ කෙම් ක්‍රම වලද සිදු කළයුතු වේලාවක් දක්වා ඇත්තේ එම උචිත වේලාව හා සමපාත වන පරිදිය. (උදා- දළඹුවන් මර්ධනය සඳහා අළු සාත්තුව හිරු එළිය වැටීමට පෙර සිදු කිරීම, මැසි පාලන කෙම් ක්‍රම ලෙස ඇඹුල් දොඩම් කෙම , කප්පර වල්ලිය, දවට පොතු කෙම ආදිය සවස සිදු කිරීම)
අතීත කෙම් ක්‍රම වලදී ශාක සාර ලෙස කොහොඹ, කරද ,ඉඟුරු, දවට, මදුරුතලා , කප්පර වල්ලිය, මිරිස්, ආදිය යොදා ගත් අතර ඒවායේ රසායනික බව සැළකීමේ දී වාෂ්පශීලි බව කෘමිනාශක ලෙස වැදගත් කමක් පවතින බව පෙනී යයි.
 
 ඒ අතර කොහොඹ යුෂ වල ඇති පුළුල් පරාසයක පළිබෝධ මර්ධන හැකියාව තේරුම්ගත් නවීන කෘෂි විද්‍යාඥයින් අදවන විට එය වාණිජ මට්ටමින් නිෂ්පාදනය කරන කෘමිනාශකයක් ලෙස වෙළද පොලට හදුන්වා දී හමාර ය. පක්ෂීන් කෙතට ආකර්ෂණය කර ගැනීම සඳහා කෙතෙහි පොල් පිති සිටුවීම, පොල්ලෙලි ඇමුණූ කෝටු සිටුවීම වර්තමාන පළිබෝධ පාලන වැඩසටහන් වල පවතින ප්‍රබල නිර්දේශයකි. එය මීට වඩා සැලසුම් සහගතව පැරණි කෙම් ක්‍රම වල අන්තර්ගතය උදාහරණ වශයෙන් අධාරක මත මුං ඇට පැළ කිරීම, කිරිබත් තැබීම,(අයිලය බැදීම) දැක්විය හැකි ය
.
අතීතයේ භාවිතා කල මී වදයේ කෙම ඉතා සාර්ථක ජෛව පාලන ක්‍රමයක් වූ අතර අද ජපානය වැනි දියුණු රටවල්  ඔවුන්ගේ ප්‍රධාන පළිබෝධ පාලන මූලධර්මයක් ලෙස පෙරමෝන භාවිතය යොදා ගැනීමෙන් පෙනී යන්නේ අපේ පැරැන්නන්ගේ පළිබෝධ පාලනයට තිබූ ජෛව පාලන නිපුණත්වයේ විශිෂ්ඨත්වය නොවේද? එසේම අපගේ පළිබෝධ පාලන යාය වැඩසටහන්වලදී ගොයම් මැස්සන් මර්ධනය සඳහා ඔවුන් අල්ලා නූලක් ගැට ගැසීම , ඇල්පෙනෙත්තකින් දෙහි ගෙඩියක ඇමිණිම ආදිය අතීතයේ කෙම් ක්‍රම වල ආභාසයෙන් ලබා ගත් පෙරෝමෝත භාවිත අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
 
වර්තමානයේ ක්‍රියාත්මක යාය වැඩසටහන් වල ක්‍රියාකාරකමක් වන රාත්‍රි කාලයේ යායේ  සියලු ගොවීන් එක්ව සිදු කරන පහන් උගුල් ඇටවීම අතීතයේ පැවති කෙම් ක්‍රම රැසක දක්නට ලැබෙන තවත් උපක්‍රමයකි. ගොයම් මැස්සන් වැනි ආලෝක සංවේදී කෘමීන් මෙවැනි පහන් කරා යොමු වන බව විද්‍යාත්මකව සොයා ගැනුන ද අපගේ පැරණි ගොවීන් දුරාතීතයේ සිට මේ බව දැන සිටි බව කෙම් ක්‍රම වල දක්නට ලැබෙන මෙවැනි උපක්‍රම තුළින් පෙනී යයි. දීප්තිමත් දැල්ලට ඇදී එන මැස්සෝ දැල්ලට අසු වී පිළිස්සී හෝ අඩපණ වී ජලයට වැටී මත්ස්‍යයින්ගේ ගොදුරක් බවට පත් වී මැරී යියි.පළිබෝධ මර්ධන යාන්ත්‍රණයක් ලෙසද ආලෝක උගුල් හදුන්වා දිය හැකිය.ඊට අමතරව ආහාර උගුල් භාවිතා කොට මීයන් ඉබ්බන් හා ගොළුබෙල්ලන් වැනි සතුන් පාලනය කළ හැකි බව අපි දනිමු.
ස්වභාවික බල ශක්ති ප්‍රභව යොදාගෙන පළිබෝධ මර්ධන උපක්‍රම යෙදීම සඳහා උදාහරණ ලෙස දිය හොල්මන, දිය යකා, දිය ටකය, ආදිය දැක්විය හැකි අතර මේ සියල්ල යාන්ත්‍රික ක්‍රම ලෙස ඒකාබද්ධ පළිබෝධ මර්ධනයේ දී වර්ග කෙරේ.
 
අපේ පැරණි කෙම් ක්‍රම අතරින් අළු සාත්තු ක්‍රම ඉතා ජනප්‍රිය ඒවා වන අතර එය ජෛව පාලන ක්‍රම,ඖෂධ භාවිත ක්‍රම හා යාන්ත්‍රික ක්‍රම යන සියලු පාලන ක්‍රම වල  මනා සංකලනයකි. පොදුවේ ගත් කල අපේ පැරණි කෙම් ක්‍රම විමසා බැලීමේදී පෙනී යන්නේ ඒ සෑම එකකම වාගේ විද්‍යාත්මක පදනමක් පවතින බව එකම උපක්‍රමය ප්‍රාදේශීයව පවතින සම්පත් සහ පරිසරයේ වෙනස්කම් මත ක්‍රම රාශියක් ලෙස දිස්වන බවත් ය. මේවාට අභිචාර විධි සහ පේවීමේ විධිමුසු කොට ඇති නිසා දේශීයත්වයට ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩ නැගී ඇත.
 
අතීත ලංකාවේ එකම වෙල්යායේ විවිධ වී වර්ග එකම කාලයකදී වගා කොට පරිසර හිතකාමීව කෙම් ක්‍රම හරහා පළිබෝධ මර්ධන සිදු කල බැවින් පළිබෝධ වසන්ගත බවට පත් වූයේ නැත. ඉන් වගාවට තිරසාර  බවක් ලැබුණි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය තිරසාර තත්ත්වයකය ගෙන ඒම සඳහා අප සතු දේශීය ඥානය විද්‍යාත්මකව භාවිතා කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය කාරණයක් වී ඇත. ඉන් වඩාත් ලාභදායී කෘෂිකර්මාන්තයක් බිහිවනු ඇත.
 
සටහන-  ජනක ප්‍රසාද්
 
(හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ටී.හේමන්ත අමරසිංහ මහතා සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිනි

Read 211 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!