Thursday, 02 May 2024

අද සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් - නව පාසල් බස් රථ 20ක් සේවයට- යාපනයට නව දුම්රියක්

Posted On Wednesday, 15 June 2022 07:25

අද සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් - නව පාසල් බස් රථ 20ක් සේවයට- යාපනයට නව දුම්රියක්

 

ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස අද (ජූනි 15 දින ) සිට නව ප්‍රවාහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඉන්ධන මිල ඉහල යාම නිසා පීඩාවට පත් පොදු ජනතාවට සහන සැලසීම උදෙසා පොදු ප්‍රවාහන පද්ධතිය වඩාත් ඵලදායී සහ කාර්යක්ෂමව යොදා ගැනීමේ වැඩසටහන් කිහිපයක් දියත් කර ඇති බව අමාත්‍යවරයා කියයි

නව ප්‍රවාහන වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීමට පසුගිය දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ පිළිබඳව දැනුවත් කළේ ය.

“අද දෙමාපියන්ට තමන්ගේ දරුවන් පාසලට යැවීමේදී පාසල් වෑන් රථ සඳහා විශාල මුදලක් ගෙවන්න සිදු වෙලා තියෙනවා. අධ්‍යාපන ඇමතිතුමත්, අධ්‍යාපන අංශයේ නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් විශාල වශයෙන් ඉල්ලීම් කරනවා සිසු සැරිය බස් රථ සේවාව ව්‍යාප්ත කරන ලෙස. ඒ වෙනුවෙන් පාසල් බස් රථ සේවාව පුළුල් කිරීමට අප කටයුතු කලා. 15 වැනිදා සිට අලුතින් පාසල් බස් රථ සේවා 20ක් කොළඹට ඇතුල්වන ප්‍රධාන ප්‍රවේශ මාර්ග සියල්ලක්ම ආවරණය වන පරිදි ධාවනය කිරීමට සුදානම් කරල තියෙනවා. ඒ වගේම මාසයක් ඇතුලත මෙම සේවාව බස් රථ 50 දක්වා වැඩි කිරීමට සුදානම් කරල තියෙනවා” යැයි අමාත්‍යවරයා පැවසීය.

“වර්තමානයේ දුම්රියෙන් ගමන්කරන මගීන් සංඛ්‍යාව වැඩියි. ඒ නිසා අලුතින් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට අපි සුදානම් කරල තියෙනවා. එහිදී කොළඹ කොටුව සිට මහනුවර දක්වාත්, සති අන්ත විශේෂ දුම්රියක් ගල්කිස්ස සිට යාපනය දක්වාත්, කැළණි වැලි දුම්රිය මාර්ගයේ වග සිට කොළඹ කොටුව දක්වා කාර්යාලීය දුම්රියකුත් අලුතින් එකතු කරනව. ඒ වගේම දැනට ධාවනය වන දුම්රියන්හි පෙට්ටි සංඛ්‍යාව වැඩි කිරීමටද කටයුතු කරනවා” ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමන් පැවසීය.

ඵර්ක් අන්ඩ් ර්‍ඉඩෙ ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කරන බවත්, වාහන නවතා තැබීම වෙනුවෙන් අයකරන ගාස්තුව අඩකින් අඩු කිරීමට තීරණය කර ඇති බවත්, කඩවත, කටුබැද්ද, මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට විනාඩි 10 න් 10ට කොළඹ කොටුව දක්වා සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් පැවසූ ඇමතිවරයා මේ සියළු කටයුතු ලබන 15 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

පෞද්ගලික අංශයේ බස් රථ, ලංගම බස් රථ, පාසල් බස් රථ හා පාසල් වෑන් රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේ පහසුව වෙනුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සහ කොළඹ කොටුව බැස්ටියන් මාවතේ නව ඉන්ධන පිරවුම්හල් දෙකක් ස්ථාපනය කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.