Monday, 29 April 2024

සේනා දළඹුවා මර්දනයට ජෛව කෘමිනාශක නිෂ්පාදනයක්

Posted On Saturday, 14 January 2023 17:11

සේනා දළඹුවා මර්දනයට ජෛව කෘමිනාශක නිෂ්පාදනයක්

 

මෙරට බඩඉරිඟු වගාවේ මේ දිනවල පැතිර පවතින සේනා දළඹුවා (Fall Army Worm) හානිය මර්දනය සඳහා දේශීය ආයතනයක් වන සාරභූමි ලංකා බයෝප්‍රඩක්ට් ආයතනයේ ජීව විද්‍යාඥයින් පිරිසක් සාර්ථක ජෛව කෘමිනාශකයක් නිෂ්පාදනය කර තිබේ.

මෙම නිෂ්පාදනය පිළිබඳ තොරතුරු සහිත වාර්තාව එම ආයතනය ඊයේ (13) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට ඉදිරිපත් කර ඇත.

මෙම නිෂ්පාදනය මුළුමනින්ම පරිසර හිතකාමී වන අතර ඉන් වගාවට හිතකර අන් කිසිදු ජීවියෙකුට හානි සිදු නොවේ. දැනට පරිසරයේ සිටින බැක්ටීරියාවක් යොදා ගනිමින් මෙම නිෂ්පාදනය සිදු කර ඇති අතර අඩුම මිලකට මෙම කෘමිනාශකය යෙදීමට හැකි නිසා ගොවියාට සේනා දළඹු හානිය මර්දනය සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු නොවේ.

බඩඉරිඟු අක්කරයක වගාවක් සඳහා මෙම කෘමිනාශකය යෙදීමට වැය වන්නේ රුපියල් 5000ක් වැනි මුදලකි. දැනට භාවිතා කරන කෘමිනාශක නිසා ගොවීන්ට අක්කරයකට රුපියල් 25,000- 30,000ත් අතර මුදලක් වැය කිරීමට සිදුවේ.

මෙම ජෛව නිෂ්පාදනය මේ වනවිට නියැඳියක් ලෙස තිරප්පනේ ප්‍රදේශයේ බඩඉරිඟු වගාවකට යොදා තිබෙන අතර සේනා දළමුවා සියයට 100කින්ම විනාශයට පත් ව තිබේ.

මෙම නිෂ්පාදනය රට තුළ භාවිතය සදහා කඩිනමින් ඊට අවසර ලබා දීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මියට උපදෙස් දුන්නේය.

එමෙන්ම දිවයිනේ සේනා දළඹු හානිය පවතින තවත් දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවට මෙම ජෛව කෘමිනාශකය යොදා අත්හදා බලන ලෙසත්, කෙසේවුවත් මෙම නිෂ්පාදනය ජෛව නිෂ්පාදනයක් නිසා පරිසරයට හානිකර නොවන බැවින් දැනට සේනා දළඹු හානිය පවතින වගාවන් යෙදීමට අවසර ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

දිවයිනේ බඩඉරිඟු වගාවට මෙතෙක් කළක් විශාල විනාශයක් සිදු කළ සේනා දළඹුවා මර්දනයට දේශීය අයතනයක් හා රටේ විද්‍යාඥයින් පිරිසක් මෙම සාර්ථක ජෛව කෘමිනාශකය නිපදවීම සම්බන්ධයෙන් රජය වශයෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම දැනට වී වගාව ආශ්‍රිතව පැතිර යමින් පවතින නෙමටෝඩා හෙවත් මූල ගැටීති වටපණු රෝගය සඳහා ද ප්‍රතිකර්මයක් සොයා බලන ලෙස ද අමාත්‍යවරයා එම ආයතනයට උපදෙස් දුන්නේය.