Monday, 29 April 2024

දරුවන් වෘත්තීය අරගල සඳහා යොදා නොගෙන උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම සඳහා එක්වන්න

Posted On Tuesday, 25 April 2023 09:55

දරුවන් වෘත්තීය අරගල සඳහා යොදා නොගෙන උසස් පෙළ පිළිතුරු පත් ඇගයීම සඳහා එක්වන්න

 

අපොස උසස් පෙළ පිළිතුරුපත් පරීක්ෂා කිරීම, ප්‍රමාද කිරීමෙන් බලපෑමක් සිදු වන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට බවත් එබැවින් හැකි ඉක්මනින් එම කටයුතු ආරම්භ කරන්නැයි ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. දරුවන් වෘත්තීය අරගල වල දඩමීමා කර නොගන්නා ලෙසද හෙතෙම ඉල්ලා සිටියේය. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 දින පැවැත්වෙන බවත් එම දිනයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
පසුගිය දශක කිහිපය තුළ ලාංකීය අධ්‍යාපන ක්‍රමය බරපතල ලෙස න්‍යාය යාමක් සහ අවිශ්වාසයක් ඇති වුණා. මේ නිසා ඇති හැකි මුදල් තිබෙන දෙමව්පියන් තම දරුවන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු විදෙස් ගත කරනවා. නමුත් සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට විශ්ව විද්‍යාල වල වසර තුන හතර ගත කරමින් තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වී තිබෙනවා. මේ සඳහා හැකි සෑම ගැටළුවක් විසඳීමට රජය මැදිහත් වී තිබෙනවා.

ඊයේ දිනයේදී විභාග කොමසාරිස්වරයා සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතර සාකච්ඡාවක් පැවැත් වුණා බවත්බොහෝ විට එම සාකච්ඡාව සාර්ථක වී උත්තර පත්තර පරීකෂා කිරීම ආරම්භ වෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.