Sunday, 28 April 2024

ඩයනාගේ තීන්දුව ජූලි 25 වැනිදා.

Posted On Tuesday, 06 June 2023 16:26

ඩයනාගේ තීන්දුව ජූලි 25 වැනිදා.

 

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමේ තීන්දුව අභියාචනාධිකරණය අද කල් තැබුවා. මෙම පෙත්සමට අදාළ තීන්දුව අද (6) ලබාදීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අභියාචනාධිකරණයේ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරු ප්‍රකාශ කළේ මෙම පෙත්සම පිළිබඳ තීන්දුව ජූලි 25 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට නුසුදුස්සකු බවත් එම නිසා ඇයට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නොමැති බවත් ප්‍රකාශ කරන Quo Warranto ආඥාවක් වැනි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා මෙම පෙත්සම ගොනු කළේය.

මෙම නඩුවේදී පෙත්සම්කරු කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත්, බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් දැරිය හැක්කේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට පමණක් බවත්ය. පෙත්සම්කරු කියා සිටියේ වෙනත් රටක පුරවැසිභාවය ලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමි වූ බවයි. ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හෝ වෙනත් කිසිදු ආකාරයක පුරවැසිභාවයක් ලබාගෙන නොමැති බව පෙත්සම්කරු පැවසීය.

ඩයනා ගමගේ මහත්මිය මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට හෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 සහ 90 වගන්ති සමඟ කියවන 91 වැනි ව්‍යවස්ථාව යටතේ සහ ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අසුන්ගෙන ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුස්සකු බව පෙත්සම්කරු වැඩිදුරටත් පැවසීය.